ප්‍රවීණ ගේය පද රචකයකු වූ ආනන්ද පද්මසිරි අභාවප්‍රාප්ත විය.

ඔහු අද (14) අලුයම හටගත් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වන විට ඔහු 63 වන වියෙහි පසුවිය.

ජනප්‍රිය ගීත රැසක හිමිකරු වූ ඔහු මිල්ටන් මල්ලවආරච්චි මහතා ගැයූ ‘සීතල හිම රටේ’, රූකාන්ත ගුණතිලක  සහ චන්ද්‍රලේඛා පෙරේරා ගායනා කළ ‘නිල් තරු නෙතු හිනැහේ’ විජය කුමාරතුංග මහතා ගැයූ ‘දේවදාර ගස් අතරින්’, මරියසෙල් ගුණතිලක සහ පියල් පෙරේරා ගැයූ ආදරේ ඔබ මා හට ඇතිද කියා, මේරියන්ස් සංගීත කණ්ඩායම ගයන ‘සාමේ ඉරේ රැස් දහරාවේ’, ‘ලෝකය බිහිවූ දවසේ ඉඳලා.. වතුරයි කාගෙත් මිතුරා සැමදා’, මාලනී බුලත්සිංහල මහත්මිය ගැයූ ‘කොණ්ඩෙ බැඳල අපේ පුතා’ රන්ජන් රාමනායක මහතාගේ ‘රන් සමනල ජෝඩුව වාගේ’ ආදී ගීත රැසක් රචනා කළේය.

මාධ්‍යවේදියකු ලෙස කලා පුවත්පත් කිහිපයක සේවය කළ ඔහු ලේකහවුස් ආයතනයේ පුවත්පත්වලට ද නිදහස් මාධ්‍යවේදියකු ලෙස කලා තොරතුරු ඇතුළත් ලිපි රචනා කළේය.

පද්මසිරි මහතාගේ දේහය, වේයන්ගොඩ, ගල්ගමුව, කීනවලවත්ත, අංක 106/1 යන ලිපිනයේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු මීරිගම ආදාහනාගාරයේදී අනිද්දා (16) සවස 4.00 සිදු කිරීමට නියමිතය.