(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුව අධිවේගී මාර්ග හදන අතරතුර අධිවේගීව රටේ ප්‍රජාතන්ත්‍රවාදයද විනාශ කරන බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

විපක්ෂ නායකවරයා මෙසේද කීය.

අධිවේගී මාර්ග ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙහිදී කතාබහට ලක්වුණා.මේ හැම දේටම මුදල් අවශ්‍යයි.මේ සඳහා රටේ ආර්ථික වර්ධන වේගය ඉහළ යා යුතුයි. ආදායම ඉහල යන්නට නම් අපේ රටට සෘජු විදේශ ආයෝජනය ලැබිය යුතුයි.අධිවේගී මාර්ග හදන අතරතුර අධිවේගීව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන තැනකට ගෙන විත් තිබෙනවා.ඒ කටයුත්ත නම් ශීඝ්‍රගාමීව සිද්ධ කෙරෙනවා. අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය හැකිලීම තුළ සිදුවන්නේ කුමක්ද?මේ රටේ ස්වාධීන අධිකරණයක් නොමැති බවත් ප්‍රජාතන්ත්‍රවාදය නැති බවත් විදේශ ආයෝජකයන්ට මතයක් ගියොත් සිදුවන්නේ කුමක්ද?අපේ රටට සෘජු විදේශ ආයෝජන පැමිණීම අඩුවෙනවා.එය ආර්ථික වර්ධන වේගයට බලපානවා.එමෙන්ම එය ජාතික ආදායමට බලපානවා.එතකොට ඔබතුමාලා බලාපොරොත්තු වෙන අධිවේගී මාර්ග හැදීම බරපතළ ප්‍රශ්නයක් වෙනවා.සෘජු  විදේශ ආයෝජන ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර විශ්වාසය අත්‍යවශ්‍යයි යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.