(ඩයනා උදයංගනී)

පන්සල්, පල්ලි, කෝවිල් ඇතුළු ආගමික ස්ථානවල විදුලිබිල සම්බන්ධයෙන් ඉදිරියේදී නියත වශයෙන්ම සහනයක් ලබාදෙන බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ආගමික ස්ථානවල විදුලිබිල සම්බන්ධයෙන් දිගුකාලීන සහනයක් ලැබෙන ආකාරයෙන් සූර්ය බලයෙන් විදුලිය ලබාදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලෙසත්, වෙනත් සහන සැලසිය හැකි ක්‍රමවේද සාකච්ඡා කර අවසන් තීන්දුවක් ගන්නා ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බව ද ඇමතිවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (23) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

ආගමික ස්ථානවල විදුලිබිල සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට කරුණු පැහැදිලි කළ බවත්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩු ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ හඑකා ඇතුළු ඇමතිවරුන් ද ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බවත් කී ඇමතිවරයා එම අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන් බව ද කීය.

විහාරස්ථානවල බිල නොගෙව්වොත් ගන්නා ක්‍රියාමාර්ග සාකච්ඡා කළාදැයි මාධ්‍යවේදියකු මෙහිදී අමාත්‍යවරයාගෙන් විමසූ අතර, එම අවස්ථාවේ ඇමතිවරයා පැවසුවේ රටකට අනුශාසනා කරන ආගමික නායකයන් පාරේ යන සෙනඟ ලෙස සැලකෙන්නේ නැති බවත්, උන්වහන්සේලා අවබෝධයෙන් කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවත්ය.