(සනත් ගමගේ)

විදෙස් සංචාරකයින් 481 දෙනෙක් රැගත් AZAMARA QUEST මගී නෞකාව හම්බන්තොට ජාත්‍යයන්තර වරායට අද (05) උදේ ලඟා විය.

ගෝලීය කොවිඩ් රෝගී තත්ත්වයෙන් පසුව හම්බන්තොට ජාත්‍යන්තර වරායට සංචාරක මගීන් රැගන පැමිණි දෙවන නෞකාව මෙය වේ.

කොළඹ වරායේ සිට හම්බන්තොට වරායට පැමිණි සංචාරක මගී නෞකාවෙන් ගොඩ බට විදෙස් සංචාරකයින් යාල ජාතික උද්‍යානය, උඩවලව ඇත් අතුරු සෙවන, හා හම්බන්තොට තංගල්ල සංචාරක හෝටල් කිහිපයකට පිටත්ව ගියහ.

හම්බන්තොට ජාත්‍යාන්තර වරායට පමිණි සංචාරකයින් යාල , උඩවලව, ඇතුළු ප්‍රදේශ කිහිපයකට සංචාරක කටයුතු සඳහා රැගෙන යෑම සිදු කරන බව සංචාරක මඟ පෙන්වන නිළධාරී ජයන්ත විජේතුංග මහතා කීය.
කොළඹින් පසුව හම්බන්තොටට පැමිණි නෞකාවේ සංචාරක මගීහු දවස පුරාම මෙම ස්ථානවල සංචාරක කටුයතු වල නියැලෙන බව ජයන්ත මහතා කීය.

නෞකාව හම්බන්තොට ජාත්‍යයන්තර වරායේ සිට ඉන්දුනීසියාවේ සබාන් වරාය බලා අද (05) රාත්‍රීයේ පිටත්ව යෑමට නියමිතව ඇත.