(රෝෂන් තුෂාර)

දිසා අධිකරණ තීන්දුවක් ප්‍රකාරව ඉඩම් නඩුවක භුක්තිය හිමිකරුවන්ට භාර දීම සඳහා රුපියල් ලක්ෂ පහක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන වැලිමඩ දිසා අධිකරණයේ රෙජිස්ටාර්වරයා ලබන 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුසවිතාන මහතා අද  (12) නියෝග කළේය.

කාර්යාල කාර්ය සහයකයෙකු ලෙස අධිකරණයට සේවයට එක්ව නියමිත පරිදි උසස් වීම් ලබා රෙජිස්ටර්වරයෙකු බවට පත් වූ එස්. රණසිංහ නමැති තිදරු පියකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අල්ලස් කොමිසම කියා සිටියේ සැකකරු  උගත් පුද්ගලයෙකු වුවද,අල්ලස් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව අනුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවය.

වැලිමඩ දිසා අධිකරණයේ වසර තිහක් පමණ විභාග වූ ඉඩම් නඩුවක  තීන්දුව ප්‍රකාරව භුක්තිය බාරදීම සඳහා  මෙම අල්ලස් මුදල ඉල්ලා ලබා ගෙන ඇති බවත්,සැකකරු විසින් පැමිණිලිකරුට දැනුම් දී ඇති පරිදි  අල්ලස් මුදල ප්ලාස්ටික් පෙට්ටියක බහා වැලිමඩ නගරයේ වෙළඳ සැලකට ලබා දී ඇති බවත් සඳහන් කළේය.