(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ලබන 5 වැනිදා  බ්‍රහස්පතින්දා පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත සහ  බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත් කෙටුම්පත පිළිබඳ  දෙවැනි වර කියවීමේ විවාදය එදින පැවැත්වීමට නියමිතය.

එම රැස්වීමේදී උදේ 9:30 සිට උදේ 10 30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කෙරෙනු ඇත.

එදින පස්වරුවේ රජය ගෙනෙන යෝජනාවකට අනුව සභාව කල් කල්තබන අවස්ථාවේ විවාදයක්ද  පැවැත්වේ.

පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් විමර්ශන කිරීමට සහ ඒ සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම සඳහා වන යෝජනාවද ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සභාවක් පිහිටුවීම සඳහා වන යෝජනාවද පාර්ලිමේන්තුවට එදින ඉදිරිපත් කිරීමට නියමිතය.