(අංජුල මහික වීරරත්න)

ඇත් අතුරු සෙවන හා පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානයේ දී අලි ප්‍රහාර දීම් හේතුවෙන් මරණයට පත් වූ වනජීවී නිලධාරීන් දෙදෙනාට වන්දි මුදලක් ලබා දීමට පියවර ගන්නැයි කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට  උපදෙස් දුන්නේය.

ඇත් අතුරු සෙවනේ දී මරණයට පත් වූ වනජීවී සේවකයා ස්ථිර පත්වීමක් ලබා ඇති තැනැත්තෙක් නොවන නමුත්  එම සේවකයාගේ මරණය සම්බන්ධව  රුපියල් ලක්ෂ දෙකක මුදලක් ඔහුගේ පවුලට පිරිනැමීමට වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

අනියම් පදනම මත සේවය කරන තැනැත්තන් රාජකාරිය අතරතුර මරණයට පත්වුවහොත් මෙතෙක් වන්දි ලබා දීමට වනජීවී  අණපනත් අනුව ප්‍රතිපාදන නොමැති නිසා වන්දියක් පිරිනැමීම පහසුකරවීම සඳහා එම අණ පනත්වලට අවශ්‍ය සංශෝධන සිදු කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලේකම් චන්ද්‍රා  හේරත් මහත්මියට උපදෙස් දුන්නේය.