
(යොහාන් භාසුර)
අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට ඉදිරියේදී උපරිම සිල්ලර මිලක් පනවන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (16) පැවසීය.
මෙරට තුළ පාරිභෝගිකයා දැඩි සූරා කෑමකට ලක්වන බවත් ඒ පිළිබඳව පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා කීය.
භාණ්ඩ රැසකට උපරිම සිල්ලර මිල නියම කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ පාරිභෝගික කවුන්සිලය මේ වන විට කටයුතු කරමින් සිටින බව කී අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා හැකි ඉක්මණින් එම මිල ජනතාවට දැනුම් දෙන බව ද සඳහන් කළේය.
වර්තමාන රුපියල් 100 කට අළෙවි කරන වතුර බෝතලය රුපියල් 40 කට අළෙවි කිරීමේ හැකියාවක් ඇති බවත් රුපියල් 52 කට සපයන ලුණු පැකට් එක රුපියල් 100 ට අළෙවි කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
පාන් ඇතුළු බේකරි නිෂ්පාදන, පානීය ජල බෝතල්, දේශීය නිෂ්පාදන ලුණු, ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වන පරිප්පු, ලොකු ලූණු, අර්තාපල් ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක්, රයිස්, කොත්තු ඇතුළු ආපනශාලා නිෂ්පාදන රැසක් මෙම උපරිම සිල්ලර මිලට යටත් කිරීමට යෝජිත භාණ්ඩ අතර වන බව පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියේ නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම කළ යුතුම වැඩක්... වෙළෙන්දෝ හිතූ හිතූ ගණන් කියන්නේ. අඩුගානේ මිල ප්‍රදර්ශනය කරන්නේ වත් නෑ. එකම දේ තැන් කීපයක මිල කීපයක්. පාලනයක් නෑ. අධික ලාභ ගන්නවා. පාරිභෝගිකයින් වගේම ගොවියන් දෙකොටසම තැලෙනවා..
මේ ගසා කෑම පාලනය කළ හැකි හොඳම ක්‍රමය නම්, සමුපකාර පද්ධතිය ශක්තිමත් කිරීමයි.
මේක ඉතාම හොඳ වැඩක්. ඒ වගේම රෙස්ටුරන්ට්වල නියමිත ප්‍රමාණය ඉක්මවා දාන ප්‍රමිතියෙන් තොර රසකාරකවලටත් ඇක්ෂන් එකක් ගන්නවා නම් හොඳයි.
නිශ්චිත බරකුත් පනවන්න නැත්නම් පරාටා සරුංගල් වලට වැඩිමිලට විකුණනවා, වතුර බෝතල් මිල ඉතා අධිකය, ප්‍රංශයේ වගේ රටක වතුර ලීටරයක බෝතලයක් ලංකා මුදලින් රුපියල් 30. පඩියට සාපේක්‍ෂව සුලු මුදලක්,
මිලක් නියම කරන කොට ඒවායේ වර්ගය (චිකන් ෆිශ් වගේ) අඩංගු විය යුතු දේවල්, බර ප්‍රමාණය ගැනත් සඳහන් කරන්න වෙයි. ඒ වගේම කෙටි කෑම වර්ග වලටත් මිල, බර ආදිය දේ ගැන සඳහන් කරන්න මිල ප්‍රදර්ශනය කළ යුතුයි කියලා නියම කළ යුතුයි. බාල බර නැති ෂෝට් ඊට්ස් වලින් චූන් පාන් කාරයෝ පුදුම ගසා කෑමක් කන්නේ...
කියලා බෑ මේවා කරන්න ඕනෑ.. හොඳින් හරි... නරකින් හරි.
එළියේ ඉන්න විට කියපුවා වගේ පහසු නැහැ. රට බාරගෙන කරනකොට නේද..? අර ගැහැණු ළමයින් වුණාම රස්තියාදු ගහන්න පුරුදු වෙන්නත් තියෙනවානේ... දෙපැත්තම ආරක්ෂා වෙන වදිහට මිලක් නියම කරලා තියන්න...
මිල පාලනයද? නියාමනයද? පාලනය කළ ගමන් ප්‍රමිතිය ගැන මොනවා කරන්නද? දැනට විකුණන සමහර ලුණුවලත් වැලි පිරිලා. ලුණු සංස්ථාවේ සමහර පැකටුත් ඇතුලුව... කොත්තු, ෆ්රයිඩ් රයිස් වගේ ආහාර වලට යොදන ද්‍රව්‍ය ප්‍රමිතියකට යටත් කළ හැකිද? පිරිසිදුකම අනෙක. ආපනශාලා ප්‍රමිතිය සොයා බලන්න. තරඟකාරී වෙළඳාමට උදව් කරන්න.
කොත්තු රයිස් සඳහා පලන මිලක්. මුලින්ම කියන්න ඕනේ මෙය අමු ගොන් වැඩක්. පාරිභෝගික අධිකාරියෙන් පාලන මිලට අමුද්‍රව්‍ය සපයනවා නම් මේ වැඩේ හරි. එහෙමද වෙන්නේ? මිලෙහි පාලනයක් දැම්මාට ආහාර වට්ටෝරුවක් දී තියෙනවා ද මේ විදියටයි හදන්න ඕනේ කියලා? මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්යය කළ යුතුයි. රටේ මුදල් ඒකකයේ වටිනාකම ස්ථාවර නැති රටක භාණ්ඩයක ස්ථාවර පාලන මිලක් පවත්වාගෙන යන්නේ කොහොමද? ඔය කියන නිලධාරීන් ඔය තනතුරු වලට පත් වෙලා ඉන්නේ මගෙන් ඉගෙන ගන්න ද?
නියම වැඩක්, අනිවාර්යයෙන් කළ යුතු වැඩක්. අපිට කඩෙන් කෑම කන්න බෑ. මේ ගණන් වලට.
ගෑස්, විදුලිය, ඉන්ධන ආදිය වැඩි වීමේදී වැඩිවන සියළුම දේවල්වල මිල පාලනය කිරීමට ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. රයිස්, කොත්තු, ආප්ප වැනි දේවල මිල වගේම ප්‍රමාණය පිළිබඳවත් සොයා බලන්න ඕන. නැත්නම් පාලන මිල දාපු ගමන් ප්‍රමාණය අඩු කරනවා. අනිත් එක මගී ප්‍රවාහන බස් රථ තේ පානය සඳහා නතර කරන ආපනශාලාවල තියෙන්නේ ටුවරිස්ට් මිල ගණන්. කෑම බල්ලෙක්ට කන්න බෑ. ඒවා පාලනය කරන්න අනිවාර්‍යෙන් ක්‍රමයක් හදන්න ඕන. නීති කඩ කරන අයට දැඩි ක්‍රියාමාර්ග ගන්න ඕන.