(අංජුල මහික වීරරත්න)

මෙතරම් දරුණු අර්බුදයක් ඇති වූයේ ආර්ථිකයට අදාළ නිවැරදි තීන්දු ගැනීමට  දේශපාලන නායකයන් පසුබට වීම නිසා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටේ ආර්ථිකය කිසිදා නොවූ විරූ අභියෝගයකට ලක් වන තුරුම රටක් ලෙස  ආර්ථික ප්‍රශ්න වලට විසඳුම් සොයා බැලුවේ නැතැයි ද ඒ නිසාම ආර්ථික ප්‍රශ්නය වර්ධනය වුයේ යැයිද ජනාධිපතිවරයා කීය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ, කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවැති ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ 36 වන වාර්ෂික හමුවට එක්වෙමිනි.

ශක්තිමත් මූල්‍ය හා මානව ප්‍රාග්ධනයක් නොමැතිව රටක් ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යා නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගිය යුත්තේ අපනයන මත පදනම් වූ තරගකාරී ආර්ථිකයක් මෙන්ම  පෞද්ගලික අංශයට විවෘත වූ ආර්ථිකයක බවද ජනාධිපතිවරයා  පෙන්වා දුන්නේය.