(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

2027 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම (අයවැය කථාව/අයවැය යෝජනා ඉදිරිපත් කිරීම) නොවැම්බර් 12  සිදු කිරීමටත් අනතුරුව නොවැම්බර් 13 සිට දෙසැම්බර් 14 දක්වා විවාදය පැවැත්වීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. 

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම අනුමතිය හිමි වී තිබේ.  

මේ අනුව විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා ඔක්තෝබර් 07 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මහ ලේකම්වරිය පැවසුවාය.   

මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස  ජනාධිපතිවරයා විසින් 2026 නොවැම්බර් 12 වැනි බ්‍රහස්පතින්දා විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම (අයවැය කථාව)  සිදු කිරීමටත්, අනතුරුව නොවැම්බර් 13 සිට නොවැම්බර් 20 දක්වා දින  07ක් දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමටත් මෙහිදී තීරණය කර ඇත. ඒ අනුව නොවැම්බර් 20 ප.ව 6.00ට දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ.

අනතුරුව නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා දින 19ක් කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමටත් දෙසැම්බර් 14 ප.ව 6.00 ට අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමටත් මෙහිදී තීරණය කර තිබේ.

මෙම කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර, සෙනසුරාදා දින ඇතුළුව සෑම දිනකම අයවැය විවාදය පැවැත්වේ. එසේම පාර්ලිමේන්තුව මෙම සෑම දිනකම පෙ.ව 9.30ට රැස්වීමට නියමිතය.

මෙම  සෑම දිනකම පෙ.ව 9.30 සිට පෙ.ව 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. ඉන්පසු, පෙ.ව 10.00 සිට පෙ.ව 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 5 ක් සහ පෙ.ව 10.30 සිට පෙ.ව 11.00 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න 1ක් සඳහා කාලය වෙන් කිරීමටත් මෙහිදී එකඟත්වය පළ වී ඇත. ඒ අනුව, විවාදය පෙ.ව 11.00 සිට ප.ව 6.00 දක්වා පැවැත්වීමට නියමිත අතර ඡන්ද විමසීම් පැවැත්වෙන දෙදින හැර අන් සෑම දිනකම ප.ව 6.00 සිට ප.ව 6.30 දක්වා  රජයට සහ විපක්ෂයට 50:50 අනුපාතය මත පදනම්ව සභාව කල් තබන අවස්ථාවේ යෝජනා විවාදයට ගැනීමටත් මෙහිදී තීරණය වූ බව මහ ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.

තවද, දෙවනවර කියවීමේ විවාද කාල සීමාව තුළ ආණ්ඩු පක්ෂයට  60% ක් සහ විපක්ෂයට 40% ක් ලෙස ද,  කාරක සභා අවස්ථාවේ විවාද කාල සීමාව තුළ ආණ්ඩු පක්ෂයට 40% ක් සහ විපක්ෂයට 60% ක් වන ලෙස ද කාලය වෙන් කිරීමට මෙහිදී අනුමැතිය හිමි වී ඇත. එසේම අමාත්‍යාංශයක වැය ශීර්ෂ සම්බන්ධ ඡන්ද විමසීමක් ඉල්ලා සිටියහොත් එය අදාළ දිනය අවසානයේ දී ප.ව 6.00ට පැවැත්වීමටත් නියමිතව ඇත.