(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

වත්මන් රජයේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාවන්ට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ උද්ඝෝෂණයට සහභාගී වෙමින් සිටි තමන් හට පොලිසිය පහර දී තුවාල සිදු කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩකරන ලදැයි සඳහන් කරමින් ඊට වන්දි වශයෙන් රුපියල් කෝටියක මුදලක් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කළේය.

සිලංග සඳකැන් සංජීව මහතා ඇතුළු 6 දෙනෙකු විසින් ගොනුකර තිබූ මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් හැටියට පොලිස්පති සී.ඩී වික්‍රමරතන, බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 26 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

නීතිඥ සුනිල් බටගල මහතා මගින් ගොනුකර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.

පෙත්සම්කරුවෝ සියලු දෙනා ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයෝ වෙති. ඉකුත් සැප්තැම්බර් 24 වැනිදා කොළඹ ලිප්ටන් වටරවුම අසල වතමන් රජය විසින් දියත් කර ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන්ට එරෙහිව උද්ඝෝෂණයක් දියත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධිත සමාජවාදී තරුණ සංගමය
තීරණය කෙරින.

මෙම උද්ඝෝෂණයට පෙත්සම්කරුවෝද සහභාගී වූහ. එම ස්ථානයට කළු ඇඳගත් පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ බටන් ප්‍රහාරයක් එල්ල කළහ.එම ප්‍රහාරයෙන් පෙත්සම්කරුවෝ තුවාල ලැබූ හෙයින් රෝහල් ගතව ප්‍රතිකාර ලැබූහ.

එබැවින් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප්‍රකාශ කරන ලෙසද මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසද රුපියල් කෝටියක වන්දි මුදලක් ලබා දීමට නියෝග කරන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.