(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධතා පැවැත්වූ බව කියමින් කොළඹ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයකු සමග සමීප සම්බන්ධතා පවත්වාගෙන ගියේ යැයි කියන එකම පවුලේ සහෝදරයෝ දෙදෙනෙක් හලාවත ප්‍රදේශයේ දී කොළඹින් ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

අත්අඩංගුවට ගැනුණ එක් සහෝදරයකු පිට පළාතක ධීවර වරායක ද අනෙක් සහෝදරයා කොළඹ කන්ටේනර් අංගනයක ද සේවය කරන්නකු යැයි කියති.

අයි. එස්. අයි. එස්. ත්‍රස්තවාදී සංවිධානයේ සාමාජිකයන් බව කියමින් ඉන්දියාවේ දී එරට ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය සැකපිට අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් සිවු දෙනා සමග සමීප සම්බන්ධතා පැවැත්වූ බව කියන පුද්ගලයකු කොළඹ ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමේදී හෙළිවූ තොරතුරු මත මෙම සහෝදරයන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අත් අඩංගුවට ගත් මෙම සහෝදරයන් දෙදෙනා ද රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන එම විශේෂ පොලිස්‌ කණ්ඩායම වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

මෙම සහෝදරයන් දෙදෙනා හලාවත ප්‍රදේශයේ පදිංචිව සිටින මවගේ නිවෙසේ සිටියදී කොළඹින් ගිය විශේෂ පොලිස්‌ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් දැන ගැනීමට ඇත.