(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අනියම් බිරිඳ සමග කැසිනෝ ක්‍රීඩාවේ යෙදීම සඳහා විවිධ ප්‍රදේශවල සුඛෝපභෝගී ප්‍රදර්ශනාගාර කඩා රුපියල් කෝටි දෙකකට ආසන්න ලැප් ටොප් පරිගණක ඇතුළු විදුලි උපකරණ තොගයක් සොරාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

සැකකරු එලෙස සොරා ගෙන තිබූ ලැප්ටොප් පරිගණක දාහතරක්,ටැබ් යන්ත්‍ර හතක්,ස්මාර්ට් ජංගම දුරකතන හතක්, විදුලි උත්පාදක යන්ත්‍රයක්, විශාල ප්‍රමාණයේ රූපවාහිනි යන්ත්‍ර තුනක් පොලිස් භාරයට ගෙන ඇත.

මිට දින කීපයකට ඉහතදී මොරටුව ප්‍රදේශයේ ප්‍රදර්ශනාගාරයක් බිද රුපියල් ලක්ෂ 29 කට අධික දේපල තොගයක් සොරා ගැනීම සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය  සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

සුපිරි වෙළඳසැලක සේවිකාවකට ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක් අඩු මුදලකට විකුණු පුද්ගලයකු පිළිබඳ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතා ට ලද තොරතුරක් අනුව එම පුද්ගලයා කැඳවා සිදු කළ ප්‍රශ්න කිරීමේදී සොරකම් රැසකට සම්බන්ධ සැකකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.