දෙරට අතර පවතින සාම්ප්‍රදායික මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කිරීම, අන්‍යෝන්‍ය වාසිදායක සහයෝගීතාව පුළුල් කිරීම මෙන්ම ශ්‍රී ලංකාවේ වෙසෙන චීන පුරවැසියන්ගේ හා ආයතනවල අයිතිවාසිකම් සුරැකීම උදෙසා තමන් සහ සිය කාර්ය මණ්ඩලය උපරිමයෙන් කැපවන බවට ද නව චීන තානාපති වේයි හුවාෂියැං මහතා මෙහිදී සහතික විය.
ශ්‍රී ලංකාවේ චීන මහජන ජනරජයේ තානාපතිවරයා ලෙස අලුතින් පත් වූ වේයි හුවාෂියැං මහතා සිය ධුරයේ වැඩබාරගැනීම සඳහා අගෝස්තු 11 වනදා දිවයිනට පැමිණියේය.
දිවයිනට පැමිණි නව තානාපතිවරයා විශේෂ ලිඛිත ප්‍රකාශයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් සිය උණුසුම් සුබපැතුම් හා ලෙන්ගතුභාවය පළ කරමින් ඉහත අදහස් දැක්වීය.
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විසින් තමන්ව 'ඉන්දියන් සාගරයේ මුතු ඇටය' ලෙස විරුදාවලිය ලත් ශ්‍රී ලංකාවේ තානාපතිවරයා ලෙස පත් කරනු ලැබීම මහත් ගෞරවයක් බව පැවසූ තානාපතිවරයා, කාලයේ පරීක්ෂණයෙන් ජයගත් දෙරටේ සදාතනික මිත්‍රත්වය ඉදිරියට ගෙන යාමට කැපවන බව ද සඳහන් කළේය.
වසර දෙදහසකට පෙර අතීත ‘සේද මාවත’ (Silk Road) ඔස්සේ ඇරඹි දෙරටේ සබඳතාව, මීට වසර 70කට පෙර අත්සන් කළ ඓතිහාසික 'රබර් - සහල් ගිවිසුම' හරහා තවදුරටත් තහවුරු වූ බව ඔසු පෙන්වා දුන්නේය. ෆාහියන් හිමියන්ගේ ලංකාගමනයේ සිට චෙං හේ අද්මිරාල්වරයාගේ නෞකා සංචාරයන් දක්වා වූ අතීත උරුමය මත පදනම්ව, 'එක් තීරයක් - එක් මාවතක්' (Belt and Road) වැඩසටහන, ජල තාක්ෂණ පර්යේෂණ මධ්‍යස්ථානය (JRDC) සහ පාසල් නිල ඇඳුම් ලබාදීම වැනි ව්‍යාපෘති හරහා මෙම සබඳතාව වර්තමානයේ ද ශක්තිමත්ව පවතින බව තානාපතිවරයා සඳහන් කළේය.
එස්ම 2025 වසරේදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අතර පැවැති රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් මගින් දෙරටේ සබඳතාවලට නව ශක්තියක් ලැබුණු බව තානාපතිවරයා සිහිපත් කළේය.
"චීන මාදිලියේ නූතනකරණය ඔස්සේ චීනය ඉදිරියට යද්දී, ශ්‍රී ලංකාව ද 'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' යන දැක්ම වෙනුවෙන් කටයුතු කරමින් සිටිනවා. ශ්‍රී ලංකාව සමඟ කරට කර සිටිමින්, සංවර්ධන උපායමාර්ග ඒකාබද්ධ කිරීමටත්, පොදු සමෘද්ධිය සඳහා පුළුල් මාවත් විවර කිරීමටත් චීනය සැමවිටම සූදානම්," යැයි තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
එළඹෙන වසරේදී චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 70ක් සහ 'රබර්-සහල් ගිවිසුමට' වසර 75ක් පිරෙන බවත්, මෙවැනි තීරණාත්මක සන්ධිස්ථානයකදී තානාපති ධුරයට පත්වීම මහා වගකීමක් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd