(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

උඩවලව  ගොවීන්ට වතුර ලබාදීම පමාවීම නිසා දැන් සිදුවෙමින් තිබෙන්නේ ගොයමත් මැරී මිනිසුනුත් මරා ගන්න තත්ත්වයට පත්ව තිබීම යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අවාසනාවන්ත ලෙස වූ මේ ප්‍රමාදවීම නිසා දැන් ගොවි ජනතාව අතර ගැටුම් ඇති වී මරාගන්න  තත්ත්වයක් ඇතිවී තිබෙන බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා උඩවලවේ ගොවීන්ට සාමකාමී අයුරින් ජලය බෙදා දීමේ කටයුත්තට මැදිහත් වන ලෙස නිලධාරීන් දැනුවත් කර තිබෙන බව සඳහන් කළේය.

නමුත් අවාසනාවන්ත තත්ත්වය පිළිගන්නට සිදු වී තිබෙන බව කී අමාත්‍යවරයා අවසානයේ  ජනාධිපතිතුමා මේ කටයුත්තට මැදිහත් නොවුණා නම් තවමත් මෙම ප්‍රශ්නය  විසඳා ගන්නට බැරි තත්ත්වයක් ඇති වෙන බව කීය.

උඩවලවට ලබා දෙන ජලය ප්‍රමාණවත් නොවීමෙන් ගොවීන් අතර ගැටුම් ඇති වන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරුන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කළේය.