(නිමල කොඩිතුවක්කු)

දළ ජාතික නිෂ්පාදනයෙන් 8% ක් වත් අධ්‍යාපනය සඳහා ඉදිරියේදී වෙන් කිරීමට පියවර ගන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා කොළඹ දී පැවසීය.

ශක්තිමත් ජාතියක් වශයෙන් ඉදිරියට යෑමට උපරිම දැණුම, බුද්ධිය ලබා දී නවීන ලෝකයට මුහුණ දියහැකි නව පරපුරක් බිහිකිරීම රජයේ පරමාර්ථය විය යුතු බවත් ජයසූරිය මහතා සඳහන් කළේය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කොළඹ දී කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

"මහ කන්නයට රසායනික පොහොර ගෙන ඒමට අවසර ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රසිද්ධියේ මාධ්‍යයට ප්‍රකාශ කර  තිබෙනවා. විෂයභාර  අමාත්‍යවරයා ඊට ප්‍රතිවිරුද්ධ මතයක් ප්‍රකාශ කිරීම නිසා ගොවියන්, වගාකරුවන් තුළ විශාල ගැටලුකාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා. එක් රජයක දෙපාර්ශවයක් මත දෙකක් ඉදිරිපත් කිරීම රාජ්‍ය පාලනයට ඉතා අහිතකර බව රජය ගැඹුරින් වටහා ගත යුතුයි.

ජනාධිපතිතුමන් කෘෂි රසායන පොහොර ගේන්න පෞද්ගලික අංශයට අවසර දීමේ ප්‍රතිපත්තිය යම්තාක් හෝ සාර්ථක වන්නේ ඒ සඳහා අවශ්‍ය විනිමය ක්ෂණිකව මුදාහැරීම තුළයි. එසේ නොමැති වුවහොත් එය ගෑස් ආනයනය කිරීම ප්‍රමාද වූ ආකාරයට අසාර්ථක උත්සාහයක් වනු ඇති බවට අප විශ්වාස කරනවා.

කොම්පෝස්ට් භාවිතය  සඳහා අඩුම වශයෙන් අවුරුදු පහක කාලයක්වත්, සාර්ථක අත්හදා බැලීමක් අවශ්‍ය බව පෙන්වා දිය යුතුයි. ඉන්දියානු අගමැති මෝදි මහතා කෘෂිකර්මය පිළිබඳව තමන් ගත් තීරණයක් වෙනස් කළේ එය ජනතාව අනුමත නොකළ නිසයි.

රසායනික පොහොර භාවිතය පසුගිය අප්‍රේල් තහනම් කළ දා සිට අද වන තුරු මෙරට ගොවියන් මුහුණ දුන් දුක් පීඩා අනන්තයි. ගෘහණියන් තම අත, කණ, කර භාණ්ඩ උගස් කරමින් වගා කටයුතු කරනු ලැබුවත් පලදාව ඉතාමත්ම අඩු වී ඇති බව අප දැනුවත් වී සිටිනවා.

පෙළපාලි ගොස් විරෝධතා පළ කරමින් රජයේ මෙම තීරණය වෙනස් කිරීමට ඔවුන්  උත්සාහ ගත්තා. එම නිසා යතාර්ථය වටහා ගෙන රජය දැන්වත් සිය ප්‍රතිපත්තීන් ගෙන් යම් තරමකින් හෝ බැහැර වීමට තීරණය කිරීම ජනතාවට සැනසීමක් වනු ඇති බව අප විශ්වාස කරනවා.  එම නිසා ඉදිරියේ දී හෝ මෙවැනි තීරණ ගැනීමේදී විද්වතුන්ගේ හා ගොවියන්ගේ අදහස් ද විමසා අවශ්‍ය පියවර ගැනීම බුද්ධිමත් ක්‍රියාවක් බව රජය වටහා ගත යුතුයි.

රසායනික පොහොර ගැටළුව හේතුවෙන් කඩිනමින් අගතියට පත් ගොවීන්ට සාධාරණ වන්දියක් ලබා දීමට රජය කටයුතු කළ යුතුයි.

බොහෝ කලකට පසු සියලු පාසල් පූර්ණ වශයෙන් විවෘත වී අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම දකින්නට ලැබීම අපට විශාල මානසික සහනයක් ගෙන දුන්නා. දරුවන්ගේ පාසල් සමය ලැබෙන්නේ එක් කාල පරිච්ඡේදයක දී පමණයි . ඒ ළමා අයිතිවාසිකම් අහිමි කිරීම පාපකර්මයක් ලෙස අප දකිනවා. අපට ඇති වටිනාම සම්පත ඊළඟ දරු පරපුරයි. එම සම්පත  රැකගෙන ලබාදිය හැකි උපරිම දැණුම, බුද්ධිය ලබා දී නවීන ලෝකයට මුහුණ දියහැකි නව පරපුරක් බිහිකිරීම  අපගේ පරමාර්ථය විය යුතුයි.

විශ්ව විද්‍යාල විවෘත කිරීම කල් නොයවා සිදු කළ යුතු අතර ඉන්පසු රජය ගුරුවරු හා ශිෂ්‍ය පරපුර ආදී සියළු පාර්ශව අනෝන්‍යය අවබෝධයෙන් හා විශ්වාසයෙන් කටයුතු කර දරුවන්ට අහිමි වූ අධ්‍යාපනය ලබාදීම සෑමදෙනාගේම යුතුකම වශයෙන් සැලකිය යුතුයි. ශක්තිමත් ජාතියක් වශයෙන් ඉදිරියට යෑමට දළ ජාතික නිෂ්පාදනයෙන් 8% ක් වත් අධ්‍යාපනය සඳහා ඉදිරියේදී වෙන් කිරීමට පියවර ගැනීම යෝග්‍ය බව අපගේ විශ්වාසයයි.