( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වන දරුවන්  ජනප්‍රිය සහ ජාතික  පාසල්වලට ඇතුලත් කර ගැනීම සදහා මාර්ගෝපදේශ මාලාවක්  සකස්  කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ජනවාරි මස 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි  අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ඇතුළු පිරිසකට අභියාචනාධිකරණය අද (10)නොතීසි නිකුත් කළේය.

එම පෙත්සම විභාගයට ගැනීමට තීරණය කරමින් අභියාචනාධිකරණය මෙලෙස නොතීසි නිකුත් කෙරිණි..

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ  පෙත්සම කැඳවිණි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා   කල මූලික කරුණු  දැක්වීම සලකා බලමින් අධිකරණය මෙම  පෙත්සම විභාග කිරීමට තීරණය කලේය.

2020 වසරේ පැවති ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණු ලබාගෙන සමත් වූ සිසු සිසුවියන් දස දෙනෙකුගේ දෙමව්පියන් විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තකරුවන් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, ජාතික පාසල් අධ්‍යක්ෂක, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරුවන් සිය පෙත්සම් වලින් සදහන් කර ඇත්තේ ජනප්‍රිය පාසල් වලට සිසුන් ඇතුලත් කර ගැනීම සදහා කඩ ඉම් ලකුණු අසාමාන්‍ය ලෙස ඉහල දැමීම නිසා  ඉහළම ලකුණු ලබා ශිෂ්‍යත්ව විභාගෙන් සමත් වී තිබුණද තම දරුවන්ට ජනප්‍රිය පාසලකට ඇතුලත්  වීමට නොහැකි  වී ඇති බව ය.

එබැවින් ඉහළම ලකුණු ලබා ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ සිය දරුවන්ට  විශාල අසාධාරණයක් සිදු වන බවට ඔවුහු සිය පෙත්සමෙන් කියා සිටිති.
එබැවින්  ශිෂ්‍යත්ව විභාගය සමත්  දරුවන්ට ජනප්‍රිය පාසල් ලබා දීමේ විධිමත්ව පිළිවෙලක් සකස් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග නිකුත් කරන්නැයි  පෙත්සම  මගින් ඉල්ලා සිටිති.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ  ශාන්ත ජයවර්ධන මහතා පෙනී සිටියේය.