(යොහාන් භාසුර)

සමස්ත කොළඹ මිලිටරි කඳවුරක් බවට පත්කරමින් ජනාධිපතිවරයා නිකුත් කළ අධි ආරක්‍ෂිත කළාප ගැසට් නිවේදනය හකුලා ගැනීම මානව හිමිකම් පිළිබඳව උනන්දුවක් ඇති සියලුම දෙනා ලැබූ අති විශාල ජයග්‍රහණයක් බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය. 

එම ගැසට් නිවේදනය ශ්‍රී ලංකාවේ මෑතකදී ප්‍රකාශ වුණු ඉතාම භායානක මෙන්ම සම්පූර්ණයෙන්ම නීති විරෝධි ගැසට් නිවේදනයක් බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එය ක්‍රියාත්මක වූයේ නම් කොළඹ සම්පූර්ණයෙන්ම මිලිටරි කඳවුරක් බවට පත්වන බව ද සඳහන් කළේය.  

මානව හිමිකම් සම්පූර්ණයෙන්ම විනාශ වන තත්වයක් එම ගැසට් නිවේදනයෙන් පිළිඹුබු වූ බවත් ඒ හේතුවෙන්ම මානව හිමිකම් බිංදුවට බස්සන ගැසට් පත්‍රය නිෂ්ප්‍රභ කිරීමට ජනාධිපතිවරයාට සිදුවූ බවත් ජී. එල්. පීරිස් මහතා කීය.

එම ගැසට් පත්‍රය අහෝසි වීමේ වැඩි ගෞරවය ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යයට ලබාදිය යුතු බව කී මහාචාර්යවරයා සඳහන් කළේ ජනමාධ්‍ය නිසි පරිදි එම ගැසට් නිවේදනයේ ඇති ආදීනව ජනවතාවට පැහැදිළි කළ බවත්ය.

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ‘නිදහස ජනතා සභාව’ විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් එසේ පැවසීය.