(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා රජය තමන්ට ලබා දුන් බලශක්ති ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇති ව තිබෙන දැවැන්ත මතභේදාත්මක තත්ත්වය දැක දැඩි ලෙස  කලකිරුණු බව අදානි සමූහ ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

තමන් ශ්‍රී ලංකාව තුළ ආයෝජනයන් සිදු කරන්නේ ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයන් සපුරාලීමේ අදහසින් බව අදානි සමූහ ව්‍යාපාරය පවසයි.

ඉන්දු-ශ්‍රී ලංකා හවුල්කාරීත්වය වර්ධනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයන් සපුරාලීම අත්‍යාවශ්‍ය කරුණක් බව ඉන්දියාවේ වගකිව යුතු ප්‍රධාන සමාගමක්  ලෙස  තමන් විශ්වාස කරන බව අදානි සමූහ ව්‍යාපාරය ප්‍රකාශ කළේය.එම අරමුණින් භාරගත් මන්නාරම් සුළං විදුලි බල ව්‍යාපෘතිය හේතුවෙන් අදානි සමූහ ව්‍යාපාරයට චෝදනා සහ විවේචන එල්ල වන බව එහි ප්‍රකාශකයෙක් පැවැසුවේය.

එල්ල වන චෝදනා සහ විවේචන හමුවේ තමන් දැඩිව කලකිරී ඇති බවත් මෙම කාරණාව දැනටමත් ශ්‍රී ලංකා රජයේ අවධානයට ලක් කර ඇති බවත් අදානි සමූහ ව්‍යාපාරය සඳහන් කළේය.

මන්නාරම් සුළං විදුලි බල ව්‍යාපෘතිය අදානි සමාගම වෙත ලබා දෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට  බලපෑම් කළ බවට ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්. සී ෆර්ඩිනැන්ඩු මහතා  පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සාභාවේදී කළ ප්‍රකාශයත් සමග මෙම මතභේදාත්මක තත්ත්වය හට ගත්තේය.

එම්.එම්. සී ෆර්ඩිනැන්ඩු මහතා තමන් හැඟීම්බර වීම නිසා සිදුකල ප්‍රකාශයක් යැයි පවසමින් මෙම ප්‍රකාශය ඉල්ලා අස්කර ගත්තත් ඉන්දියානු දේශපාලනය තුලද මේ හේතුවෙන් මතභේදාත්මක තත්ත්වයක් හට ගෙන තිබේ.

ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ මහ ලේකම් රාහුල් ගාන්ධි මහතාද මෙම ප්‍රකාශය උපුටා දක්වමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ භාරතීය ජනතා පක්ෂයට විවේචන එල්ල කර ඇත.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ මෙම ප්‍රකාශය පිළිබඳ සටහනක් තබමින් පැවසුවේ එම්.එම්. සී ෆර්ඩිනැන්ඩු මහතාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවයි.