(අංජුල මහික වීරරත්න)

දිවයින පුරා ප්‍රධාන රෝහල් රැසක සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අතරමඟ නවතා දමා තිබු මහා පරිමාණ ව්‍යාපෘති 25 ක වැඩකටයුතු නැවත ආරම්භ කර ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය කියයි.

ඒ අනුව 2014, 2016, 2017, 2018, 2019, 2024 යන වර්ෂ වල ඉදිකිරීම් ආරම්භ කර විවිධ හේතූන් මත අතරමඟ ඉදිකිරීම් නවතා දමා තිබූ සංවර්ධන ව්‍යාපෘති අතරින් මහා පරිමාණ ව්‍යාපෘති 25ක් මෙම වැඩසටහනට ඇතුළත් වේ.

ඒ යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ගොඩනැගිල්ල ඇතුළුව අත්‍යාවශ්‍ය බවට හදුනාගනු ලැබූ ප්‍රධාන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 25 වැඩකටයුතු අවසන් කිරීම සඳහා 2025 අයවැය ප්‍රතිපාදන මඟින් මිලියන 16000ක මුදලක් වෙන් කරනු ලැබු අතර 2026 මෙම වසරේ වෙන් කළ මුදල රුපියල් මිලියන 19000 කි.

රුපියල් මිලියන 38000ක මුදලක් 2027 වසරේ දී වෙන් කිරීමට සැලසුම් කර ඇත.

ළමා හා මාතෘ සෞඛ්‍ය නංවාලීම, පිළිකා ප්‍රතිකාර සේවා පුළුල් කිරීම, හෘද සහ තැලසීමියා රෝගී ප්‍රතිකාර සත්කාර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යාලය සහ ජාතික මධ්‍යස්ථාන, හදිසි අනතුරු සත්කාර සේවා ශක්තිමත් කිරීම, සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිල නිවාස සහ පරිසර හිතකාමී අපද්‍රව්‍ය කළමනාකරණය ආදී ක්ෂේත්‍රයන්ට අදාළ ගොඩනැගිලි සහ අනෙකුත් ඉදිකිරීම් මෙම වැඩසටහනට ඇතුළත් ය.