(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී අති බහුතරයක් පළාත් පාලන ආයතනවලට ‘පොහොට්ටුව’ ලකුණින් තරග කිරීමට තීරණය කර ඇති බවත් ඇතැම් පළාත් පාලන ආයතනවලට එම පක්‍ෂයේ අපේක්‍ෂකයන් වෙනත් පක්‍ෂවල ලකුණින් තරග කරන අවස්ථා ද ඇතිවිය හැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (2) පැවසීය.

ඡන්ද විමසීමකදී වැඳගත් වන්නේ ජයග්‍රහණය කිරීමට අපහසු කියන දේ නොව වඩා පහසුවෙන් ජයග්‍රහණය කිරීම යන කරුණ බවත් ඒ හේතුවෙන් පහසුවෙන් ජයග්‍රහණය කරන මාවතට අවතීරණ වන බවත් ලේකම්වරයා කීය.

මෙවරත් පක්‍ෂ රැසක් සමඟ ඉතාම සාර්ථක සන්ධානයකින් තරග කර ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී අති බහුතරයක් කොට්ඨාස ජයග්‍රහණය කිරීමේ හැකියාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඇති බව කී කාරියවසම් මහතා එක්සත් ජාතික පක්‍ෂය සමඟ සන්ධානගත වීමට මේ දක්වා සෘජු තීරණයක් නොමැති වුවත් එක්සත් ජාතික පක්‍ෂය සහ පොදුජන පෙරමුණ අතර අදහස් පමණක් හුවමාරු කරගෙන ඇති බව ද සඳහන් කළේය.

ගාස්තු වැඩි කර ජනතාව මත බර පැටවීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආර්ථික ප්‍රතිපත්තිය නොවූ ද එම ප්‍රතිපත්තිය විරුද්ධ තරුණ පරපුර කැරළි ගසා ජනාධිපතිවරයා ද පන්නා දැමූ බව කී කාරියවසම් මහතා පැවසුවේ විදුලි බිල වැඩි කරන්නේ නැති වුණාම ඒක වැරදි යැයි පවසා ජනතාව ඉල්ලූ ආර්ථික ප්‍රතිපත්තිය මෙය බවත්ය.

බත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී අද (2) පැවැති මාධ්‍ය හමුවේදී නීතිඥා සාගර කාරියවසම් මහතා එසේ පැවසීය.