(අජන්ත කුමාර අගලකඩ)

පාර්ලිමේන්තුවේ හෙට  සහ අනිද්දා  විවාදයට ගැනීමට නියමිත විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහාය නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ගණනාවක් අද (19) පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී  පැවති අතර,පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ගණනාවක් එහිදී විසිදෙවැනි සංශෝධනයට විරුද්ධව අදහස් ප්‍රකාශ කර ඇත.

එහිදී අදහස් දක්වා ඇති හිටපු ඇමති එස් බී දිසානායක මහතා ප්‍රකාශ කර ඇත්තේ,ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කරන කිසිදු සංශෝධනයකට තමාගේ සහය නොදෙන බවය.

හිටපු ඇමති ආචාර්ය සරත් වීරසේකර මහතා අදහස් දක්වමින් දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්දය දුන් තමා විසි දෙවැනි සංශෝධනයට විරුද්ධව ද ඡන්දය දෙන බව පවසා ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා අදහස් දක්වමින් පවසා ඇත්තේ,විසිදෙවැනි සංශෝධනයට සහාය දීම විහිළුවක් වන බවය.

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැසක් ඊට විරුද්ධව ඡන්දෙ දෙන බවද ඔහු සඳහන් කර ඇත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ,කණ්ඩායමක් ලෙස එක්ව තීරණයක් ගත යුතුව ඇති බවයි.