(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත කිරීම ජනතා පොරොන්දුවේ එක කොටසක් ඉටුකිරීමක් බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම පිළිබඳ විවාදය ආරඹමින් අමාත්‍යවරයා මේ බව කීය.

"අප ජනවරම අනුව කටයුතු කරන ආණ්ඩුවක් බව ජනතාව හොඳින්ම දන්නවා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව අධිකරණ පද්ධතියක් සහ නීති පද්ධතියක් ක්‍රියාත්මක වීම පිළිබඳව පැහැදිලිව දක්වා තිබෙනවා.සාධාරණව හා සමානව නීතියේ රැකවරණය,විනිවිද භාවය සහ කාර්යක්ෂමතාව,ස්වාධීනත්වය සහ ජනතා විශ්වාසය යන මූලධර්ම මත පිහිටා අප අධිකරණ පද්ධතිය මෙහෙයවන බවට ජනතාවට පොරොන්දුවක් ලබා දී තිබෙනවා.මේ පනත් දෙක ඒ ජනතා පොරොන්දුවේ එක කොටසක් ඉටුකිරීමක්. නීතියේ විධානයේ ආධිපත්‍ය පිහිටුවන්න අධිකරණයක් පමණක් කාර්යක්ෂම වී වැඩක් නැහැ.පද්ධතියේ තැන් කිහිපයක කාර්යක්ෂම බව ඇතිවිය යුතුයි යනුවෙන්ද අමාත්‍යවරයා කීය.