(ඩයනා උදයංගනී)

2023 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (04) පැවසීය.

එම යෝජනාවට අනුව 2023 වසරේ මුළු පුනරාවර්තන වියදම රුපියල් කෝටි 1,63,400 ක් වන අතර, මුළු මූලධන වියදම  රුපියල් කෝටි 3,24,500ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.

ඒ අනුව 2023 වසරේ විසර්ජන පනත් කෙටුම්පත රජයේ ගැසට්පත්‍රයේ පළ කර අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද ඇමතිවරයා කීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.