අපේ රටේ ගතවූ මාස 20ක් ඇතුළත ළමා ඝාතන 14ක් සිදුව ඇත. කුඩා දරුවන් පැහැර ගැනීම, අපචාර, දූෂණය කිරීම මෙන්ම පසුව මරා දැමීම ආදියද වාර්තා වී ඇත. මවුපියන් විසින්ම දරුවන් ඝාතනය කිරීම, පවුලේ ඥාතීන් හෝ සමීප අසල්වැසියකු විසින් දරුවන් ඝාතනය කිරීම පසුගිය වකවානුවේ සිටම හෙළිදරව් වී ඇත.

දරුවන් ඉලක්ක කර ගැනීමට හේතු

අපේ සමාජ ක්‍රමය ගත්විට දරුවන් ස්ථානගතව ඇත්තේ තනිව තීරණයක් ගත නොහැකි, අසරණ එමෙන්ම වැඩිහිටි රැකවරණය ආදරය අත්‍යවශ්‍යම කොට්ටාසයක් ලෙසටයි. තමාට එරෙහිව යම් බලපෑම් එල්ල වුවද වයසින් මුහුකුරා නොගොස් ඇති නිසා ඊට එරෙහිව ප්‍රතිචාර දැක්වීමට ළමයින් බහුතරයක්ම අපොහොසත් වේ. එවන් අවදියක පසුවන්නන් හට දැඩිව රැකවරණය අවශ්‍ය අතරම අපරාධ සඳහා ගොදුරු වීමට සුරක්ෂිතභාවය, මනුෂ්‍යත්වය කියන කාරණා බිඳ වැටීම සෘජුව බලපායි.

අපරාධ සඳහා දරුවන් පෙළඹ වීමට හේතු ලෙස පලිගැනීමේ චේතනාවන්, කළකිරීම්, ආවේග පාලනය කර ගැනීමට අපොහොසත් වීම වැනි දරුණුම මනෝභාව ඉවහල් වේ. ඊට සමාජ සාධක සේම පුද්ගල සාධකද හේතු වේ. විශේෂයෙන්ම අපරාධයක ගොදුර දරුවා වීමේදී ඔවුන්ව පොළඹවා ගැනීමේ ඇති පහසුව, දරුවන්ට හරි වැරැද්ද තේරුම් ගැනීමට ඇති නොහැකියාව වැනි කාරණාද බලපානු ලැබේ.

අපරාධකරුවකුගේ මානසික පසුබිම

අපරාධයක් සිදු කිරීමට තැත් කරන්නකුට සමාජය සහ අනෙක් පිරිස් කෙරෙහි ඇත්තේ දැඩි වෛරීභාවයකි. ඔහු කුඩා කාලයේ සිටම සමාජය ගැන ඇති කළකිරීම, ප්‍රතික්ෂේප වීම හමුවේ සෙසු පාර්ශව වෙත ඇති කෝපය දිනෙන් දින වර්ධනය වීම ,ළමා කාලයේ ඇති අමිහිරි අත්දැකීම් , මවුපිය ආදරය අවශ්‍යම කාලයේදී නොලැබී යාම , මොවුන්ද දිගින් දිගටම අපචාරවලට ගොදුරුව හිඳීම, ලිංගික ආශාවන් දැඩිව දැනීම, තමාට දැනෙන ලිංගික ආශාවන් පාලනය කර ගත නොහැකි වීම , වැරැදි ආභාසය වැනි කාරණා අපරාධයක් සිදු කරන පුද්ගලයකුට පොදු කාරණාවේ.

මෙබඳු පුද්ගලයකු ළමා කාලය නිමවී සමාජය හා ගැටීමේදී වුවත් තව කෙනකුගේ දුකට සංවේදී විය නොහැකි වීම, තවත් පිරිසකගේ හැඟීම් ගැන අති අනවබෝධය, අනුකම්පාව දැක්විය යුතු තැන ගැටලු ඇති කර ගැනීම, කුඩා වියේ සිටම සතුන්ට හිංසා කිරීම, බොරු කීමේ මනා හැකියාව, ක්‍රමවත් අධ්‍යාපනයක අඩුව වැනි කාරණාද බාහිර ලක්ෂණ ලෙස හඳුනා ගත හැකියි.

නීතියට විනයට ගරු නොකිරීම, නව යෞවන වියේ ඇතිවන වැඩි පෙළඹවීම් මත තවත් මෙවැනිම පුද්ගලයන් එක්කහසු කරගෙන දරුණු කල්ලි නිර්මාණය කර ගැනීම , ඒ හරහා ඔවුන් දරන ආකල්ප ,හැසිරීම් මෙන්ම පෞර්ෂත්ව ගුණාංග හා සමාජය අතර ගැටීම් වැනි ගැටලු මතුවේ.

ආවේග පාලනය ගැන කතා කිරීමේදී ආවේග පාලනය අඩාල කරවන ප්‍රධාන කාරකය වන්නේ මත් ද්‍රව්‍ය සහ මත්පැන්ය. මේවා මගින් හැඟීම් පාලනය සේම තරකානුකූලව සිතීමේ ශක්තියත් දුර්වල කර දමනු ලැබේ.

අපරාධයකට දරුවන් පොළඹවා ගැනීමේ ක්‍රම

අපරාධයකට ගොදුරු වන දරුවා බොහෝ විටම අපරාධකරු හා ඉතා සමීපව කටයුතු කරන අසල්වාසී හෝ ඥාති පවුලක සාමාජිකයකු විය හැකියි. එසේම තෝරාගත් දරුවාට මවුපිය රැකවරණය අඩු හෝ අහිමිව ගිය, පවුලේ සෙසු සාමාජිකයන්ගෙන් සමීප සබඳතාවෙන් දුරස් වූවකු විය හැකියි. වැඩිහිටි රැකවරණයෙන් මිදුණු දරුවකුට බලහත්කාරකම් කිරීම, රැවටීම සේම පෙළඹවීමද ඉතාම පහසුය.

අපරාධකරු , දරුවා අතර මිත්‍රකම් ගොඩනගා ගැනීමට යුහුසුළු වීම, දරුවාගේ රුචි අරුචි ප්‍රවේශමෙන් තෝරා ගැනීම වැනි කාරණා කෙරෙහිද සූක්ෂම ලෙස කටයුතු කරයි. එමෙන්ම දරුවකුට තර්ජනය කර බිය වද්දා ගැනීම වැනි පහත් පෙළේ උපක්‍රම පවා අත්හදා බලයි.

අපරාධයකට ගොදුරුවූ දරුවකුගේ හැසිරීම් රටා

දරුවකු යම් අපරාධයකට ගොදුරුව ඇත්නම් ඔහු සාමාන්‍ය හැසිරීම් රටාවෙන් මිදී අසාමාන්‍ය ලෙස හැසිරීම් වෙනස් කර ගැනීමට උත්සාහ දරයි. සරලව කිවහොත් සාමාන්‍ය හැසිරීමේ පැහැදිලි වෙනසක් පෙන්වයි.

♦ නිතරම බියමුසු හැඟීමෙන් පසුවේ.

♦ නින්ද නොයයි

♦ ගැහැනු දරුවකු නම් වැඩිහිටි පිරිමින්ට ඇති අධික බිය

♦ වයසට නොගැළපෙන ළමා ගති පෙන්වීම

උදාහරණයක් ලෙස ඇඟිලි ඉරීම, දණ ගෑම ආදිය එකී ඉරියව් වේ.

♦ හේතු රහිතව හැඬීම

මෙවැනි ගති ලක්ෂණ ඇති දරුවකු වේ නම් පෙරට වඩා සැලකිලිමත් වීම, අවධානය ලබා දීම, දරුවා සමග විවෘත වීම අත්‍යවශ්‍ය වේ. එබැවින් මෙම ලක්ෂණ පැහැදිලිව හඳුනා ගෙන නිසි වෛද්‍යවරයකු වෙතට නොපමාව ඉදිරිපත් කිරීමත් මවුපිය වගකීමකි.

දරුවන්ව ආරක්ෂා කර ගැනීම

මවුපියන්ට, වැඩිහිටියන්ට සේම දරුවන්ගේ භාරකාරත්වය ඉදිරියේ පැන නැඟෙන බරපතළම අභියෝගය වනුයේ දරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීමයි.

♦ නිවාස අඩස්සියට දරුවා කොටු නොකරන්න.

කිසිඳු අත්දැකීමක් නැතිව හැදෙන දරුවාත් අත්දැකීම් ලබමින් සමාජය හා ගැටෙන දරුවාත් බොහෝ සෙයින්ම වෙනස් වේ. එබැවින් මවුපිය භාරකාරත්වය රැකවරණය මැද දරුවාට හිමි නිදහස ලබා දෙන්න. ළමයින්ගේ නිදහස අනවශ්‍ය හේතු උදෙසා අහුරා නොතබන්න.

♦ දරුවාගේ ශාරීරික රැකවරණය සලසන්න

පරිභාහිර කිසිම පුද්ගලයකුට දරුවාගේ සිරුර ස්පර්ශ කිරීමට නොහැකි වන ලෙසට කටයුතු සැලසීම , දරුවාව ඒගැන දැනුම්වත් කර තිබීම මින් අපේක්ෂා කෙරේ.

♦ දරුවන් ඇසුරු කරන පාර්ශව මෙන්ම සමාජය ගැන තොරතුරු ලබා ගන්නා ප්‍රභව පිළිබඳ වැඩිහිටියන් දුනුම්වත් වන්න.

ඇසුරු කරන පාර්ශව සේම තොරතුරු ලබා ගන්නා මූලාශ්‍ර සමග පවතින සීමාව දරුවකු ඉක්මවා යයි නම් මර්දන උපක්‍රමත් භාවිත කිරීම වැඩිහිටි ඔබගේ යුතුකමයි. උදාහරණයක් නම් දරුවා දවසින් වැඩි කාලයක්ම පලදායී නොවන ආකාරයට අන්තර්ජාලයේ සැරි සරයි නම් සීමාවන් පැනවිය හැකියි.

♦ දරුවා වැඩිපුරම කාලය ගත කරන ආකාරය ගැන විමසිලි වීමත් වටී.

♦ දරුවාට සමීප පිටස්තර පවුල්වල සාමාජිකයන් ගැනත් සොයා බලන්න

♦ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඔවුන් හට නිති සවන් දෙන්නකු වන්න

♦ පාසලේදී,නිවසේදී සේම අතරමඟදිත් දරුවන්ව හුදෙකලා නොවීමට උපදෙස් ලබා දෙන්න.

♦ දරුවන්ට නිසි කලට ලිංගික අධ්‍යාපනය ගැන දැනුමක් ලබා දෙන්න.

මෙහිදී විවෘතව ලිංගිකත්වය ගැන කතා කිරීම, ලිංගික හිංසනයකදී එය වලක්වා ගනිමින් ක්‍රියා කරන ආකාරය ගැන දරුවන්ට අවබෝධයක් ලබා දීම , අනවශ්‍ය ලිංගික උත්තේජනවලින් ඔවුන්ව මුදවා ගැනීම වැනි දෑද සිදු විය යුතුයි.

මානසික තත්ත්වයට අදාල ප්‍රතිකාර

මනෝ වෛද්‍ය සේවාවන් හරහා අපරාධ සිදු කරන්නන් පුනරුත්ථාපනය සඳහා යොමු කළ හැකියි.

අසාමාන්‍ය චර්යා හඳුනා ගෙන ඔවුන් පුනරුත්ථාපනයට යොමු කිරීම මෙන්ම ඖෂධ ප්‍රතිකාර ක්‍රම පවා ඇත. ඖෂධ ප්‍රතිකාර සහ ප්‍රතිකාර ලබා දෙන කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. මෙම තත්ත්ව යම් කාලයක් පුරාවට නිසි ප්‍රතිකාර මගින් මඟ හරවා ගත හැකියි. එබැවින් නොපමාව නිසි වෛද්‍ය උපදෙස් සඳහා යොමු වන්න.

-සටහන- මාධවී ධර්මරත්න