(කාංචන කුමාර ආරියදාස)
දේශීය එළවළු ගොවියා ගේ සියලුම එළවළු තොග හෙට (11 ) දින දඹුල්ල ,ගලේවෙල ,නාවුල ,ලග්ගල ,හා විල්ගමුව යන ප්‍රදේශ වලදී රජය විසින් මිලදී ගැනීමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය .
අද (10) පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අමාත්‍යවරයා මේ බව කීය.
ආර්ථික මධ්‍යස්ථාන බොහොමයක් මේ වන විට වසා දමා තිබීම හේතුවෙන් ඉතා කූට ලෙස අහිංසක ගොවීන්ගේ භවභෝග ඉතා අඩු මුදලකට ලබාගෙන පාරිභෝගික ජනතාවට වැඩි මිල ගණන් යටතේ අලෙවි කිරීමේ ක්‍රමවේදයට තිත තැබීම සඳහා සහ විශාල වශයෙන් ගොවීන් තැන තැන අනාරක්ෂිත ලෙස ගැවසීම වැළැක්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් දෙදෙනා සාකච්ඡා කර මෙම තීරණය ගත් බව හෙතෙම සඳහන් කළේය.
ඒ අනුව විශේෂ මිල ගණන් යටතේ එළවළු මිල දී ගැනීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කරන බවද අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව දඹුල්ල්ල ගම්උදාව ක්‍රීඩාපිටිය, දඹුල්ල පරණ සති පොළ භූමිය, විහාරය රථ ගාල, පැල්වෙහෙර රජයේ ගොවිපල, ගලේවෙල ක්‍රීඩාංගනය, දේවහුව ගොවිජන සේවා මධ්‍යස්ථානය ,ලග්ගල ගොවිජන සේවා මධ්‍යස්ථානය, වීල්ගමුව ගොවිජන සේවා මධ්‍යස්ථානය නාවුල අලුගොල්ල ගොව්ජන සේවා මධ්‍යස්ථානය යන ස්ථානවලදී හෙට 11 දින උදේ සිට සවස් වනතුරුම ගොවීන් රැගෙන එන එළවළු තොග සියල්ලම රජය මිලදී ගැනීම සිදුකරන බවද අමාත්‍යවරයා පැවසීය.
රජය විසින් ලබා ගන්නා එළවළු ආවශ්‍ය ප්‍රදේශවලට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා බෙදා හැරීමේ කටයුත්තක් ක්‍රියාත්මක කර තිබෙන බවද හෙතෙම පැවසීය .
ආර්ථික මධ්‍යස්ථාන වසා දැමීමත් සමග ගොවීන්ගේ ව්‍යාපාරිකයන්ගේ රටේ ජනතාවගේ ආරක්ෂාව සඳහා ගන්නා ක්‍රියාමාර්ග සියල්ල පසෙක දා ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීම සුදුසු බවට යෝජනා කළ ව්‍යාපාරිකයෝ ඉතා සූක්ෂම ලෙස නගරයේ සෑම ස්ථානයකම තබාගෙන ජනතාව රෝගී තත්ත්වයන් වලට පත් කරමින් ඉතා අඩු මිල ගණන් යටතේ එළවළු මිලදී ගැනීමේ ක්‍රියාවලියක් ද ආරම්භ කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
අනේ යන්න බොරු නොකියා... කරන්න බැරිනම් පුළුවන් කෙනෙකුට දීලා යන්න.
හොද තීරණයක්.... මේවා මිට පෙර ගැනීමට තිබුනේ. කොහොම වුණත්... මෙම අවදානම් අවස්ථාවේදීත් සත්ගුණවත් අතරමැදි තක්කඩි හිගන මුදලාලිලා මිනිසුන්ව හුරාකම් වලට ඉඩනොදී මහජනතාවට සහනමිලට එළවලු ගැනීමට හැකි නම් එය වැදගත් නොවේද?
රජය හැමදේම කරන්න හදලා පොර වෙන්න හදන්නේ. මට ආරංචිය හැටියට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළද සංගමයක් එක්ක ඇරගෙන... මේක ඇඇවිල්ලා එකේ ප්‍රතිඵලයක්.
වැඩේනම් ගොඩක්ම හොදයි. හැබැයි හරියට කරගෙන යන්න. මිලදිගන්නවා වගේම අලවියත් හරියට කරන්න. මේකට දේශපාලකයෝ සම්බන්ධ වුනොත් එයාලා අර බඩු මලු දුන්නා වගේම තමන්ගේ හිතවතුන්ට විතරක් අලෙවි කරාවි. අනෙක් මිනිස්සුන්ට මොකුත්ම ලැබෙන එකක් නැහැ. ඒ විතරක් නෙවෙයි දේශපාලුවන්ගේ හෙන්චයියලා අතරමැද ඉදගෙන එළවලු තොග ගත්තොත් කලින් තිබුනටත් වඩා තත්වය නරක අතට හැරෙනවා. එහෙම වුනොත් දුප්පත් මනුස්සයකුට එළවළුවක් කන්න ලැබෙන එකක් නැහැ.
එක හොද වැඩක්... , අහිංසක ගොවින් ආරක්ෂා කරගන්න.
ගොවියගේ නිෂ්පාදන රජයෙන් මිලදී ගෙන පාරිභෝගිකයාට සාධාරණ මුදලකට ලබාදිය යුතුය.අතරමැදියෝ මෙතෙක් ගොවියත්, පාරිභෝගිකයත් සුරක්ෂිතව මෙ විදිහට වැඩකළොත් හොදයි..
මේක අලුත් දෙයක් නෙවි. 77 ධර්මිෂ්ට පාලනයට පෙර අලවි කිරීමේ දෙපාර්තමේන්තුව, වී අලෙවි මණ්ඩලය වැනි ආයතන තිබුනා. ඒවායින් ගොවි නිෂ්පාදන කළමනාකරණය සිද්ද වුණා... ජනතාවට හරිදේ හරියට ලැබුනා. ඒ සියල්ල විනාශ කරලා තමන්ගේ එවුන්ට හැදෙන්න ඉඩ හැරීමේ විපාකය තමා මේ.
ආණ්ඩුවට කෙලින්ම ගොවියාගෙන් මිලදී ගන්න හැකියාව තිබුනා නම් මීට පෙර එය නොකලේ ඇයි? ආර්ථික මධ්‍යස්ථාන නඩත්තු කලේ ඇයි ? මේකත් හාල් ෂෝ එක වගේ ටී.වී. ෂෝ එකක්ද ?
අත්හදා බැලීම් කරන්න. ඔව්නේ... සාර්ථකද අසාර්ථකද කියලා බලන්න. සමහරුන්ට පාඩුයි වගේ වැඩේ. තණකොළ කන මිනිසුන්ට...
හෙට කියන දවස කවදාවත් එන්නේ නැති දවසක්. බාලගිරි අද නෙවේ හෙට කියන්නෙත් ඒකයි. මේ රජය ආපු දවසේ ඉදලම මේ කතාව කියනවා. ඒ වුනාට කරන්නේ නැහැ. කලින් තිබුන රජයනුත් ඒ වගේ තමයි.
සුනාමි කාලෙත් ආණ්ඩුව බැහැලා මිනිස්සුන්ට ද්‍රව්‍ය බෙදුවා. එත් ආණ්ඩු මේවා කරනකොට අකාර්යක්ෂමයි. නීති රීති රෙගුලාසි කෝටියයි. අන්තිමේ නිසි කලට ආහාර ද්‍රව්‍ය බෙදාගන්න බැරිව කල් ඉකුත් වෙලා නරක් වෙලා. පුළුස්සන්න වලදාන්න වුන ආණ්ඩුව හාල් ජාවාරම කරනකොට ටොන් දාස් ගණනින් ලක්ෂ ගණනින් සත්ව ආහාර කරන්න දෙන්නෙත් ප්‍රයිවෙට් අය දවසින් දවස දියුණු වෙන්නෙත් මේ වෙනස නිසා. ආණ්ඩුවට ඕනෑකමක් තියෙනවා නම් බඩුදුම්රිය දාලා පළාත් අතරේ භාණ්ඩ ප්‍රවාහනය කරලා සිල්ලර වෙළෙන්දන්ට බෙදල දෙනවා නම් අවුල් වෙන්නේ නෑ. රෝග පැතිරීම අවමයි. අනිත් දෙය පාලන මිල දැම්මම කළුකඩ වෙළෙඳාම වැඩි වෙනවා කියන එක මූලිකම ආර්ථික විද්‍යා දැනුමක්. හරිම පුදුමයි ඔස්තාර්ලා ඒවා ගණන් ගන්නේ නැති එක.
ප්‍රශංසාවට හේතුවියයුතු කාරණාවක්. ජයවේවා .!!!
සේරම හොඳයි. ඒත් අපේ රටට ලැබෙන කෝටි ප්‍රකෝටි ගණන් ආධාර කොහෙටද යන්නෙ ? මේ ඇඳිරි නීතිය අස්සේ ඒවා ගැන අපේ අයට හොයන්නත් බැහැ. ඒවා භාර දීලා තියෙන්නේ හරි එතන බලෙන් වාඩිවෙලා ඉන්නේ මාර පොරක්නේ. කරපු කොමිස් ගැහිලි ගැන අපිට මතකයි. සුනාමි ආධාර ? ඒ වගේ වෙයි. අඩු ගානේ අර චීනේ කොම්පැණියෙන් ඵවපු මුහුණු ආවරණවලටත් වෙච්ච දෙයක් නැහැ. ඒත් තෝරා ගත්ත අයට නම් මාස ගාණකට ඇඳිරි නීති පාස්, හාල් ගෝණි ගණන් , විස්කි කේස් ගණන් යවන බවත් අපි දන්නවා. සේරම සාටක අස්සෙ සිදු වෙනවා මේ දවස්වල ලස්සනට.කපටි දේශපාළුවන් රංචුවකට මේ කොරෝනා දේව ආශීර්වාදයක් වෙලාලු.
ජනතාවට කෙසේ වෙතත් මෙවායින් වැඩි වාසියක් තියෙන්නේ දුෂිත දේසපාලුවන්ට, ඒ අයගේ පවුල් වල ඉන්න අයට, ඒ අයගේ හෙන්චයියන්ට තමා.