
(ඩයනා උදයංගනී)
එක් දරුවකු බලාපොරොත්තුවෙන් සිටි තමන්ට දරුවන් සය දෙනකු එක්වර ලැබීම විශාල සතුටක් බව මෙරට අද (21) අළුයම මෙලොව එළිය දුටු සය නිවුන් දරුවන්ගේ පියා වන ප්‍රභාත් උදයංග මහතා පැවසීය.
තම බිරිඳ විසින් මෙතෙක් දරාගෙන සිටි දරුවන්ගේ බර අද සිට තම උර මතට ගත් බවත්, දරුවන් යහපත් පුරවැසියන් ලෙස ඇති දැඩි කිරීම තම අරමුණ බවත් ඔහු සඳහන් කළේය.
වෘත්තියෙන් ඉංජිනේරුවරයකු වන ප්‍රභාත් උදයංග මහතා මේ බව පැවසුවේ මෙම ඉතිහාසගත දරු උපත සම්බන්ධයෙන් කොළඹ නයින්වෙල්ස් රෝහලේ දී අද (21) පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.
ඔහු එහිදී මෙසේ ච පැවසීය. “අපි විවාහ වුණේ මීට වසර දෙකකට පමණ පෙරයි. අපි දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටියා. එක්වර දරුවන් හය දෙනෙක් ලැබෙන්න යන බව දැනගත් විට සතුටක් දැනුණත් යම් තිගැස්මකුත් ඇතිවුණා. ලංකාවේ මීට පෙර නිවුන් දරුවන් හයදෙනෙක් බිහිවී නොමැති බව දැනගත්තේ වෛද්‍ය ටිරාන් ඩයස් මහතා හමුවූ පසුයි. ටිරාන් ඩයස් මහතා නිරන්තරයෙන් අපට අවශ්‍ය උපදෙස් දෙමින් දරුවන්ගේත් මවගේත් ආරක්‍ෂාව තහවුරු කළා.
දරු ප්‍රසූතිය සඳහා වෛද්‍ය උපදෙස් අනුව බිරිඳව සතියකට පෙර රෝහලට ඇතුළත් කළා. ඒ කාලයේදී වෛද්‍යවරුන්, රෝහල් කාර්ය මණ්ඩලය ඇය තුළ විශ්වාසයක් ගොඩනගමින් දරු ප්‍රසූතිය වෙනුවෙන් සූදානම් කළා. රෝහල අපි වෙනුවෙන්ම උපකරණ ඇතුළු යම් යම් දේ සූදානම් කළා. මේ කාර්ය මණ්ඩලයට මම ස්තුතිවන්ත වෙනවා. දරුවන් බිහිකරන අවස්ථාවේ මට බිරිඳ අසල ඉන්න ලැබුණා. ඒ වගේම සැත්කමින් පැයකට පසු දරුවන් බලන්නත්, බිරිඳ සමඟ කතා කරන්නත් අවස්ථාව ලැබුණා. සති 31ක් තිස්සේ මගේ බිරිඳ දරාගෙන සිටි බර අද මගේ උරමත තිබෙනවා. මට අවශ්‍ය මගේ දරුවන් රටට යහපත් පුරවැසියන් කරන්නයි. ඒ සඳහා මම උපරිමයෙන් කැපවෙනවා. මේ වෛද්‍යවරුන් මට දෙවිවරුන් වගේ. ඒ වගේම අපිට උදව් කළ අපේ පවුල්වල ඥාතීන්ටත් ස්තුතිවන්ත වෙනවා.”
මෙම දරුවන් බිහිකිරීමේ සිසේරියන් ශල්‍යකර්මය සිදුකළ ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය ටිරාන් ඩයස් මහතා පැවසුවේ දරුවන්ගේ උපත් බර ග්‍රෑම් 1,600ත් ග්‍රෑම් 836ත් අතර වන බවයි.
මෙම දරුවන් සහ මවගේ තත්වය මේ වන විට යහපත් බවත්, මව වෛද්‍ය අධීක්‍ෂණය යටතේ නයින්වෙල්ස් රෝහලේ දැඩිසත්කාර ඒකකයේත්, දරුවන් නව ජන්ම දැඩිසත්කාර ඒකකයේත් රඳවා සිටින බවත් ඔහු සඳහන් කළේය.
“මේ මව මා වෙත පැමිණියේ දරු ගැබට වයස සති 9ක් 10ක් පමණ වන විටයි. ශ්‍රී ලංකාවේ මීට පෙර සය නිවුන් දරු උපතක් සිදුවී තිබුණේ හෝ මට එවැනි අත්දැකීමක් තිබුණේ නැහැ. මා මීට පෙර සිවු නිවුන් දරු උපතක් සිදුකර තිබුණා. ඒත් මීට වසර හතරකට පමණ පෙරයි. මේ මව මා හමුවට පැමිණි අවස්ථාවේ මා මුලින්ම කළේ ස්කෑන් පරීක්‍ෂාවක් මගින් ඇගේ කුසේ දරුවන් සිටින ආකාරය පරීක්‍ෂා කිරීමයි. දරුවන් තුනට වැඩි පිළිසිඳ ගැනීමකදී යම් අවදානමක් තිබෙනවා. සාමාන්‍යයෙන් දරු උපතක් සිදුවන්නේ සති 38කින්. දරුවන් දෙදෙනකු නම් සති 36ත් 37ත් අතරත්, තිදෙනෙක් නම් සති 35දීත් ප්‍රසූතිය සිදුකළ යුතුයි. නමුත් සය නිවුන් දරුවන් බිහිකළ යුතු සති ගණනක් කොහේවත් සටහන්ව තිබුණේ නැහැ. ඒ නිසා සියල්ල අපේ දැනුම හා මෙතෙක් ලද අත්දැකීම් මවගේ හා දරුවන්ගේ සෞඛ්‍ය තත්වය සළකා ප්‍රසූතිය සිදුකළ යුතු කාලය තීරණය කරන්න අපට සිදුවුණා. මේ මවට සති 27 ඉක්මවන විට අධි රුධිර පීඩනය ඇතිවුණා. කායික රෝග විශේෂඥ ප්‍රියංකර ජයවර්ධන මහතා වෙත ඇය යොමු කර එම තත්වයට ප්‍රතිකාර ලබාදෙමින් ඇගේ ගර්භනී කාලය හැකිතාක් ඉදිරියට ගැනීමට මා උත්සාහ කළා. අවසන් කාලයේදී දරුවන් දෙදෙනකු වෙත රුධිර සැපයුම අඩු වූ නිසා සති දෙකක් දිනපතා ස්කෑන් පරීක්‍ෂණ සිදුකළා. අවසානයේ සති 31 දී මෙම දරු ප්‍රසූතිය සිදුකරන්න අපිට සිදුවුණා.
ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්ව
ශල්‍ය කර්මයට සහභාගී වූ වෛද්‍යවරු ඇතුළු කර්ය මණ්ඩලය



COMMENTS
අනේ වාසනාවන්, ගොඩක් සතුටුයි. මෙම මවටත් පියාටත් ඉදිරිගමන සාර්ථක වේවා.
හරිම සතුටක්
අපේ මිභිපිට දෙවියන්...
මෙවැනි මව් පියවරු වැඩි වැඩියෙන් සිංහල ජාතියට ලැබේවා
මිහිපිට දෙවිවරු වගේ විස්මකර්ම වැඩ කරන්ඩ පුලුවන් වෛද්‍යවරු සිටීමත් වාසනාවක්. මහාචාර්ය වෛද්‍යතුමා ඇතුලු සියලුම වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට ප්‍රණාමය පුදකරමි.මවටත් ,දරුවන්ටත් නිරෝගීසුවය ,සියලු දෙවි පිහිට පතමි.
දමාපිය දරුවන්ට බුදු සරණ පතමු. සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ගෞරවනීය ප්‍රණාමය
ඉතාම සතුටුයි. ඒ වගේම දරුවන්ගේ පියතුමාගේ අධිශ්ඨානය - රටට යහපත් පුරවැසියන් ලෙස එම දරු පැටවුන් හදා වඩා ගැනීම - කොතරම් නම් අගේද? වෙසෙසින්ම තමන්ගේ පුද්ගලික දුර්වලකම් ද රටේ දුර්වලකම් ලෙස හුවා දක්වා පිටරටට හුරේ දාන මිනිසුන් අතරේ. මවුපිය දෙදෙනාටත්, දුරු පැටවුන්ටත් යහපතක්ම වේවා.
දෙමාපිය, දරුවන්ට බුදුසරණ පතමු. සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ගෞරවනීය ප්‍රණාමය..!!!
ගොඩාක් සතුටුයි