(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ එහි මුල්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම සදහා එහි ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

ඒ අනුව විදුලිබල මණ්ඩලය ලබා ගෙන ඇති සියලුම ව්‍යාපෘති ණය, ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු ණය, පුනර්ජනනීය සැපයුම්කරුවන්ට සහ අනෙක් සැපයුම්කරුවන්ට ගෙවිය යුතු ණය, රාජ්‍ය බැංකුවලින් ගෙන ඇති ණය සහ අනෙකුත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට මෙන්ම මෙම වසරේ ඇති වී ඇති අලාභ පිරිමසා ගැනීම සඳහා වන සැලසුම සකස්කරන බවත් ජූනි අවසන් වනවිට විදුලිබල මණ්ඩලයේ මුල්‍ය ශේෂපත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන සැලැස්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කළ යුතු බවත් ඒ මහතා කීය.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී විදුලිබල මණ්ඩලයේ මුල්‍ය ශේෂපත්‍රය පිළිබඳව විශේෂ සාකච්ඡාවක්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ නියෝජිතයන් සමග මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්විණි.