‘අධික රුධිර පීඩනය ‘ ගැන ප්‍රජාව දැනුම්වත් කිරීමේ දිනය මේ මස 17 වැනිදාට යෙදී තිබේ. මෙහි තේමාව වන්යේ ‘රුධිර පීඩනය නිවැරැදිව මැන ගනිමු. පාලනය කරමු . දිගුකල් ජීවත් වෙමු‘ යන්නයි. 

වර්තමානය වනවිට බෝ වන රෝග මෙන්ම බෝ නොවන රෝග සඳහාද ඇති අවදානම ඉහළ යයි. වසරකට බෝ නොවන රෝගවලට ගොදුරුව මිය යන ප්‍රතිශතයද වැඩි වී ඇත. බෝ නොවන රෝග අතුරෙන් සුලබව කතා කෙරෙන අධි රුධිර පීඩනය ගැන දැනුම්වත් වෙමු.

සාමාන්‍ය ව්‍යවහාරයට අනුව ‘ප්‍රෙෂර් ‘ එසේත් නැත්නම් අධික රුධිර පීඩනය ඇති නොවන්නට නම් කළ යුතු දෑ මොනවාද , නිරෝගී ජීවන රටාවකට අනුගත වීම සඳහා ඇති කර ගත යුතු සෞඛ්‍ය පුරුදු මොනවාද යන්න බලමු.

♦ ලෝක ජනගහණයෙන් බිලියන 1.4ක් අධික රුධිර පීඩනයෙන් පෙළෙනු ලැබේ. ඉන් සියයට 14ක සුළු ප්‍රතිශතයක් පමණක් රුධිර පීඩනය පාලනය කර ගැනීමට සමත්ව ඇත.

♦ වර්ෂ 1975ත් 2015ත් අතර කාලයේදී අධික රුධිර පීඩනයෙන් පෙළෙන සංඛ්‍යාව මිලියන 594 සිට බිලියන 1.3 දක්වා වැඩි වීමක් පෙන්නුම් කොට ඇත.

♦ අධික රුධිර පීඩනය නිසා වර්ෂයකට මිලියන 7.6ක් පමණ දෙනා මරණයට පත් වේ.

♦ ආඝාතය හෙවත් අංශභාගය වැළඳුණ රෝගීන්ගෙන් සියයට 54කටත්, හෘදයාබාධ රෝගීන්ගෙන් සියයට 47කටත් මූලික වශයෙන් හේතු වී ඇත්තේ අධික රුධිර පීඩනයයි.

♦ ලංකාවේ දී 2015දී පවත්වන ලද බෝ නොවන රෝගවලට බලපාන අවදානම් සාධක හඳුනා ගැනීමේ සමීක්ෂණයට අනුව අවුරුදු 18ත් 69ත් අතර පුද්ගලයන්ගෙන් සියයට 25ක් අධික රුධිර පීඩනයට ලක් වී තිබේ. එය කාන්තාවන්ගෙන් සියයට 26.7ක් වන අතර පුරුෂයන්ගෙන් සියයට 25.4ක් යනාදී වශයෙන් වේ. සරලව කිවහොත් පුද්ගලයන් හතර දෙනකුගෙන් එක් අයකු අධික රුධිර පීඩනයෙන් පෙළේ.

ඒ වගේම තුන් දෙනකුගෙන් එක් පුද්ගලයකු ( සියයට 31ක් ) කිසිම දිනක තම රුධිර පීඩනය මැන නොමැති බවටත් වාර්තා වේ.

ප්‍රෙෂර් නිසා ඇති විය හැකි රෝග

අධික රුධිර පීඩනය නිසා ඇති විය හැකි රෝගී තත්ත්ව පහත දැක්වේ.

♦  හෘදයාබාධ

♦  ආඝාතය හෙවත් අංශභාගය

♦  වකුගඩු අකර්මණ්‍ය වීම

♦ අක්ෂි ආබාධ

ප්‍රෙෂර් ඇති වීමට බලපාන සාධක

♦ අහිතකර මෙන්ම වැරැදි ආහාර රටාව

♦ ව්‍යායාම අඩු වීම

♦ දුම්පානයට ඇබ්බැහි වී සිටීම

♦ මත් පැන් පානය

♦ වායු දූෂණය

තවද පවුලේ රෝග ඉතිහාසයද මෙයට පාදක වේ. එනම් පවුලේ සාමාජිකයකු අධික රුධිර පීඩනයෙන් පෙළේ නම් , හෘදයාබාධ, අංශභාගය ඇති වී තිබේ නම් මෙකී තත්ත්වද අධික රුධිර පීඩනය ඇති වීම කෙරෙහි බලපානු ලැබේ. එමෙන්ම බර වැඩි වීම ,තරබාරු බව මෙන්ම මානසික ආතතියද මීට බලපානු ලැබේ.

අධික ලුණු සහිත ආහාර භාවිතය

අහිතකර ආහාර ගැන කතා කිරීමේදී අධික ලුණු සහිත ආහාර භාවිතය විශේෂයෙන් බලපෑම් ඇති කරනු ලැබේ.

මොනවද මේ ආහාර?

♦ සකස් කරන ලද ආහාර

එනම් හැම්, බේකන්, සොසේජස්, මීට් බෝල්ස් ආදිය දැක්විය හැකියි.

♦ ටින් කළ ආහාර – අච්චාරු වර්ග, සෝස් වර්ග

♦ පාන් හා බේකරි නිෂ්පාදන – රෝල්ස්, පිට්සා, අධික ලෙස තෙලෙන් බැද ගත් ආහාර, රයිස් වර්ග, බුරියානි, කොත්තු ආදිය උදාහරණ ලෙස දැක්වීමට පුළුවනි.

♦ තවද සීනි අධික ආහාර – පැණි බීම වර්ග ,බිස්කට්,කේක් ආදිය....

මෙවැනි ආහාර ගැනීමෙන් තරබාරුව සහ දියවැඩියා වැනි රෝග හට ගැනීම කෙරෙහිත් උත්තේජනයක් සපයනු ලැබේ.

ලුණු නිසා ප්‍රෙෂර් ඇති වන හැටි

පුද්ගලයකුගේ දෛනික ලුණු පරිභෝජනය තේ හැඳි 01ක් එනම් ග්‍රෑම් 05කි. ඒත් වර්තමානයේදී මෙම නියතය ඉක්මවා යමින් දිනකට ලුනු තේ හැඳි 2ත් 3ත් අතර ප්‍රමාණයක් ආහාරයට ගැනේ. එසේම අපේ ගෘහනියෝ සියයට 50ක් පමණ බත් පිසීමේදී ලුණු එකතු කර ගැනීමට පුරුදුව සිටිති. මෙම වැරැදි පුරුදු සේම ඉහතින් දැක්වූ ආහාර කාණ්ඩද පරිභෝජනය මගිනුත් ලුණු ශරීරයට එකතු වේ.

ලුණු මගින් ශරීරයට ලැබෙනුයේ සෝඩියම් වේ. ලුණු තේ හැඳි එකකින් සෝඩියම් ග්‍රෑම් 02ක් ශරීරයට ලැබේ. මේ ප්‍රමාණය සිරුරට ඉතා ප්‍රමාණවත් වේ. එනම් අපේ රුධිර පීඩනය පාලනය කිරීමට, ස්නායු පණිවුඩ හුවමාරු ක්‍රියාවලිය පවත්වා ගෙන යාමට මෙන්ම ශරීරයේ අභ්‍යන්තර පරිසරය පාලනය කිරීමෙහිලා තේ හැඳි එකකින් ලැබෙන සෝඩියම් ග්‍රෑම් 02 හොඳටම ප්‍රමාණවත්ය.

එහෙත් ලුණු වැඩි වීම තුළ ‘ සෝඩියම් ‘ ශරීරය තුළ එකතු වන ප්‍රමාණය වැඩි වේ. එවිට රුධිර වාහිනී තුළ ජලය රඳන ප්‍රමාණය වැඩි වී රුධිරයේ පරිමාව වැඩි වේ. එවිට රුධිර වාහිනීවල වෙනස් වීම් ඇති වේ. එනම් ඝණවීම් සහ ප්‍රදාහ වැනි තත්ත්ව, පටුවීම් සිදු වීමේ ප්‍රතිඵලයක් ලෙස රුධිර පීඩනය වැඩි වේ. එවිට හෘදයාබාධ,අංශභාගය, වකුගඩු අකර්මණ්‍ය වීමට ඇති ඉඩකඩ තවත් වැඩි වී යයි.

ප්‍රෙෂර් සුව නොවේ

බොහෝ දෙනෙක් තමන් අධික රුධිර පීඩනයෙන් පෙළෙන බව පවා දැන ගන්නේ හෘදයාබාධයකට, අංශභාගය වැනි තත්ත්වයකට ගොදුරු වූ පසුවයි. එම මොහොත වන විටදී සිරුරේ බොහෝ වෙනස්වීම් සිදුවී අවසානයි. ‘ ප්‍රෙෂර්‘ තත්ත්වය ඇතිවූ පසු සුව වීමක් නොමැත. ඖෂධ, නිවැරැදි ආහාර පාන, දිනචර්යාව සහ ක්‍රමවත් ව්‍යායාම මගින් පාලනය කිරීමක් පමණක් සිදු වේ.

රුධිර පීඩනය වැඩිවී ඇති බව අඟවන ඉඟි

බොහෝ විට අධික හිසරදයක්, කරකැවිල්ලක් වැනි ලක්ෂණ මතු වූ විට අපි ඒ ගැන සැලකිලිමත් වීමට පටන් ගනී. ඒ අනුව අපේ රුධිර පීඩනය මැන බැලීමට යොමු වීම සිදු වේ. අධික රුධිර පීඩනය තත්ත්වයේදී රෝග ලක්ෂණ බොහෝවිට පෙන්නුම් නොකෙරෙන අතර නිහඬ මාරයකු ලෙස පැමිණේ.

රුධිර පීඩනය අගයන් ගැන ඔබ දැනුම්වත්ද?

♦ ඔබේ රුධිර පීඩනය රසදිය මිලිමීටර් 140/ 90ට අඩු නම් රුධිර පීඩනය සාමාන්‍යයි. වසරක් ඇතුළත නැවත මැන බැලීම ප්‍රමාණවත් වේ.

♦ රුධිර පීඩනය රසදිය මිලිමීටර් 140/90ට වැඩි නම් හෘදය සංකෝචනය වීමේදී පීඩනය ( Systolic Blood Pressure ) රසදිය මිලි මීටර් 140-179 හෝ හෘදය ඉහිල් වීමේදී පීඩනය රසදිය මිලි මීටර් 90- 109 එනම් ( 140- 179) ,(90 -109) වැනි අගයක් පෙන්නුම් කරයි නම් නැවත වතාවක් වෛද්‍යවරයකු ලවා රුධිර පීඩනය මැන ගත යුතු වේ. එමෙන්ම රුධිර පීඩනය ක්‍රමවත් ආකාරයට පාලනය කර ගැනීම සඳහා වෛද්‍ය උපදෙස්ද ලබා ගත යුතු වේ.

♦ රුධිර පීඩනය රසදිය මිලි මීටර් 180-110ට වඩා වැඩි නම් වහාම වෛද්‍යවරයකු හමු වීම හෝ රෝහල් ගත වීම සිදු කළ යුතුය. මෙම තත්ත්වය පාලනය කරගත නොහැකි වුවහොත් අංශභාගය ඇති වීමට සහ හෘදයාබාධයකට ගොදුරු වීමට ඇති අවදානමද ඉහළ යයි.

එබැවින් පහත උපදෙස් පිළිපදින්න

♦ වයස අවුරුදු 35න් පසු වසරකට දෙවරක්වත් රුධිර පීඩනය මැන බලන්න.

♦ වයස අවුරුදු 20ත් 34ත් අතර පුද්ගලයන් විශේෂයෙන් පවුලේ මෙවැනි රෝග ඉතිහාසයක් ඇත්නම් තරබාරු හෝ දුම්පානයට යොමුව ඇත්නම් , දියවැඩියා රෝග ඉතිහාසයක් පවතී නම් ඔවුන්ද විශේෂයෙන් පහත පරීක්ෂණවලට භාජන විය යුතුය. තම රුධිර පීඩනය, රුධිරයේ සීනි මට්ටම, කොලෙස්ට්‍රෝල් මට්ටම, උසට සරිලන බර ( BMI අගය ) නිවැරැදි දැයි පරීක්ෂා කර ගැනීමට උත්සුක වන්න.

♦ලුණු, තෙල්, සීනි අඩංගු ආහාර හැකිතාක් සීමා කරන්න.

♦ දුම්පානය, මත්පැන් පානය වැනි අහිතකර පුරුදුවලින් දුරස් වන්න.

♦ වැඩිහිටි පුද්ගලයකු සතියකට දින 05ක් විනාඩි 30ක්වත් ව්‍යායාමයක නිරත වන්න.

♦ එළවළු, පලතුරු,පළා වර්ග හැකි සෑම විටෙකම අනුභව කරන්න.

♦ කෘතිම රසකාරක. ආහාර හැකිතාක් සීමා කරන්න.

♦ ඔබ පදිංචි ප්‍රදේශයට ආසන්න රජයේ රෝහලේ ‘ සුව දිවි මධ්‍යස්ථානයට ‘ යොමු වී බෝ නොවන රෝග වලක්වා ගැනීමට ලබා දෙන උපදෙස් ලබා ගන්න.

-සටහන- මාධවී ධර්මරත්න