(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව ඉහළ මට්ටමේ මැදි ආදායම් රටක් ලෙස ලෝක බැංකුව වර්ගීකරණය කිරීම හේතුවෙන් මෙරටට සහන මිලට හෝ නොමිලේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගැනීමට තවදුරටත් හැකියාවක් නොමැති බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

ඒ හේතුවෙන් ලබන වසරේ සිට මෙරට ප්‍රතිශක්තීකරණ වැඩසටහනට වැයවන පිරිවැයෙන් කොටසක් දැරීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇති බවත් 2028 වසරේ සිට ප්‍රතිශක්තීකරණ වැඩසටහනට වැයවන මුළු පිරිවැය දැරීමට සිදුවනු ඇති බවත් ආරංචි මාර්ග පෙන්වා දුන්නේය. ඉහළ මට්ටමේ මැදි ආදායම් රටක් ලෙස ශ්‍රේණිගත කිරීමේ ඉහළට පැමිණීම හේතුවෙන් තවදුරටත් ශ්‍රී ලංකාව "ගැවී" එන්නත් සන්ධානයේ සහාය ලැබීමට සුදුසුකම් නොලැබීම එයට හේතුව වී තිබෙන බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

"ගැවී" එන්නත් සන්ධානය යනු අඩු ආදායම් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාවට අත්‍යවශ්‍ය එන්නත් ලබාදීම සහ එම රටවල ප්‍රතිශක්තිකරණ වැඩසටහන් ශක්තිමත් කිරීම සඳහා කටයුතු කරන ජාත්‍යන්තර රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරිත්වයකි. ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනිසෙෆ්, ලෝක බැංකුව, බිල් ඇන්ඩ් මෙලින්ඩා ගේට්ස් පදනම, රජයන්, එන්නත් නිෂ්පාදකයන් සහ අනෙකුත් හවුල්කරුවන් ගැවි සමඟ එක්ව කටයුතු කරති.

ගැවි මඟින් රටවලට එන්නත් මිලදී ගැනීම සඳහා මූල්‍ය සහාය ලබාදීම පමණක් නොව, එන්නත් ගබඩා කිරීම සහ ප්‍රවාහනය, සෞඛ්‍ය සේවකයන්ගේ හැකියාවන් වර්ධනය කිරීම සහ දරුවන්ට එන්නත් ලබාදීමේ පද්ධති ශක්තිමත් කිරීම සඳහාද සහාය ලබාදෙයි. එහි මූලික අරමුණ වන්නේ දරුවන්ට ජීවිතාරක්ෂක එන්නත් සඳහා සමාන ප්‍රවේශයක් සහතික කිරීමයි.

ශ්‍රී ලංකාව ගැවි සමඟ දීර්ඝ කාලයක් පුරා සම්බන්ධ වී සිටි රටකි. හෙපටයිටිස් බී එන්නත, පෙන්ටාවැලන්ට් එන්නත, පෝලියෝ එන්නත සහ මානව පැපිලෝමා වෛරසයට එරෙහි (HPV) එන්නත ඇතුළු එන්නත් හඳුන්වාදීමේදී ශ්‍රී ලංකාවට ගැවි සහාය ලබාදී තිබේ.