(ෂේන් සෙනෙවිරත්න )

මහනුවර මහ නගර සභාවේ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කම්කරුවෙකුට පහර දුන් බව කියන එම නගර සභාවේ ශ්‍රීලනිප හිටපු මන්ත්‍රීවරයකු මහනුවර මුල ස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

එම පහරදීමෙන් නගර සභා කම්කරුවාගේ කන ප්‍රදේශයට බරපතල තුවාල සිදුවී ඇති බවත් එම තුවාල හේතුවෙන් ඔහුගේ කන ප්‍රදේශයට මැහුම් තුනක් යොදා තිබෙන බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .

නිසිලෙස වෙන්න නොකොට අවිධිමත් ලෙස පිරවූ කුණු මල්ලක් මහනුවර නගර සීමාවේ විලියම් ගොපල්ලව මාවතට වාහනයකින් පැමිණ බැහැර කළ අවස්ථාවේදී එම ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කම්කරුවා ඊට විරෝධය දක්වා තිබේ.

නිසි ලෙස කුණු වෙන්කොට රැගෙන එන ලෙස පවසමින් එම කුණු මල්ල නැවතත් හිටපු මන්ත්‍රීවරයාගේ  රථයට දමා ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා ඔහු පැමිණි මෝටර් රථයේ අංක තහඩුව ජංගම දුරකථනයෙන් ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී හිටපු මන්ත්‍රීවරයා පහරදී ඇති බව පොලිසිය කියයි .

මෙම පහරදීමට විරෝධය දක්වමින් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සුදහම්පොළ උප කාර්යාලයට අනුයුක්තව සේවය කරන කම්කරුවන් අද (02) සේවා කටයුතුවලින් ඉවත්ව සිටීමටද පියවර ගත්තේය.‍