(අංජුල මහික වීරරත්න)

ධර්ම මාර්ගයේ යමින් දේශපාලන සමාජ ආර්ථික වියවුල සමනය කොට ශ්‍රී ලංකාව නැවත දියුණු රාජ්‍යයක් ලෙස ලෝකය හමුවේ ඔසවා තැබීමට සියලු දෙනා අදිටන් කර ගනිමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩමවීමෙන් දායාද වූ පිවිතුරු බුදු දහමත් හරවත් බොදු උරුමයත් සුරැකීමට කැප වන ලෙස  සියලු බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිවරයා පැවසීය.

මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩම කරවීම ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ආගමික වශයෙන් වටිනාම සන්ධිස්ථානය බව අවිවාදිත බව කී ජනාධිපතිවරයා එයින්  සමාජ, සංස්කෘතික හා දේශපාලන වශයෙන් අත්පත් කරගත් වටිනාකම්  අප්‍රමාණ බව කීය.

අභිමානවත් රටක් ජාතියක් ලෙස අප ඉදිරියට පැමිණියේ මිහිඳු හිමි දෙසු තථාගත දහම හා අනුදැන වදාල එම ජීවන මග ඔස්සේ ගමන් කිරීම නිසා බවද ජනාධිපතිවරයා පැවසීය.

පොසොන් පොහොය නිමිත්තෙන් ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මෙි බව පැවසීය.