(යොහාන් භාසුර)

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ‘ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම 2024’ ශ්‍රී ලංකාවේ හොඳම තෙවැනි විශ්වවිද්‍යාලය ලෙස නම් කර තිබේ.

ලෝකයේ වඩාත් කීර්තිමත් සහ පුළුල් විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමක් වන ‘ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම’ ඊයේ (27) එය නිලවශයෙන් නිවේදනය කළේය.

එම විශ්වවිද්‍යාලය පසුගිය වසරේ (2023) ශ්‍රේණිගත කිරීම්වලදී ඉහළතම විශ්ව විද්‍යාලයක් ලෙස ලැයිස්තුගත කළ අතර මෙම වසරේ කාර්ය සාධනය සැළකිය යුතු ලෙස වැඩි දියුණු වීමත් සමඟ ලෝක ශ්‍රේණිගත කිරීමේ 1,501 වැනි ස්ථානයට පත්විය.

මෙහිදී ක්ෂේත්‍ර හතරක් යටතේ විශ්වවිද්‍යාලයක කාර්ය සාධනය මණින කාර්ය සාධන දර්ශක 13 ක් මත පදනම් වන අතර ඉගැන්වීම, පර්යේෂණ, දැනුම හුවමාරුව සහ ජාත්‍යන්තර දැක්ම එම ක්ෂේත්‍ර වේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම්. මානගේ මහතා පැවසුවේ 2024 ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ තුන්වැනි හොඳම විශ්වවිද්‍යාලය ලෙස එම විශ්වවිද්‍යාලය පත්වීම පිළිබඳව සතුටු වන බවත් මෙය එම විශ්වවිද්‍යාලය ලැබූ විශාල ජයග්‍රහණයක් බවත්ය.

මෙම ශ්‍රේණිගත කිරීම එම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයේ ඉහළ ගුණාත්මකභාවයට සාක්ෂියක් මෙන්ම විශ්වවිද්‍යාලය ක්‍රියාත්මක කරන පර්යේෂණ, සිසුන්ට ඉහළ අධ්‍යාපනයක් දීමට ඇති හැකියාව සහ කැපවීම අගය කිරීමක් බවත් එය ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදයන් හඳුනාගැනීම පිළිබඳව ආඩම්බර වන බවත් උපකුලපතිවරයා කීය.  

මෙම ඇගයීම වෙනුවෙන් කැපව කටයුතු කළ සියළුම පර්යේෂකයන්ට, විද්වතුන්ට සහ ශ්‍රේණිගත කිරීමේ කණ්ඩායමට වෙහෙස මහන්සිවී කටයුතු කිරීම සහ කැපවීම පිළිබඳව ස්තූති වන බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉහළ සුදුසුකම් ලත් සහ පළපුරුදු පීඨ රැසක් ස්ථාපිත මෙන්ම විශ්වවිද්‍යාලය විවිධ විෂයයන් සඳහා පුළුල් පරාසයක උපාධි හා උපාධි වැඩසටහන් ඉදිරිපත් කරන බවත් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා සඳහන් කළේය.