(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (20) පස්වරුවේ තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය.
යෝජනාවට විරුද්ධව ඡන්ද 152ක් ලැබුණු අතර ඊට පක්ෂව ලැබුණේ ඡන්ද 61ක් පමණි.
සමගි ජන බලවේගය,ජනතා විමුක්ති පෙරමුණ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු සහ එක්සත් ජාතික පක්ෂයේ නායක, පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අය අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුද වූහ.
ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතා මුලදී විවේචනය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, මන්ත්‍රී සාගර කාරියවසම් මහතාද යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය .
ඡන්දය විමසන අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ චමල් රාජපක්ෂ සහ ආචාර්ය විජේදාස රාජපක්ෂ යන මහත්වරුද විපක්ෂයේ කුමාර වෙල්ගම සහ හරින් ප්‍රනාන්දු යන මහත්වරුද සභා ගැබේ නොසිටියහ.
අතුරලියේ රතන හිමියෝද විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
මැති සබයේ ඉලෙක්ට්‍රොනික පද්ධතිය ඔස්සේ ඡන්ද විමසීම සිදු කෙරිණ.පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සහ නියෝජ්‍ය මහලේකම් කුෂානී රෝහණදීර මහත්මිය ඡන්ද විමසීමේ කටයුතු මෙහෙයවූහ.
මෙම විශ්වාස භංග යෝජනාව පිළිබඳ විවාදය දින දෙකක් පුරා පැවැත්විණ.
විවාදයේ දින දෙකේදී ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරු 40කට වැඩි පිරිසක් අදහස් දැක්වූහ.
සමගි ජන බලවේගය ඇමැති උදය ගම්මන්පිල මහතාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළේ ඉන්ධන මිල ඉහළ දැමීම ඇතුළු චෝදනා කිහිපයක් පදනම් කරගෙනය .
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 43 දෙනකු අත්සන් තබා තිබූ එම විශ්වාසභංග යෝජනාව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කතානායකවරයාට පසුගිය 23 වැනිදා බාරගනු ලැබීය .
COMMENTS
හැමෝම මතක තබාගන්න.... පෙට්‍රල් රුපියල් 200ට ගියත් දියවන්නාවේ ප්‍රතිඵලය මේකම තමයි.
අපි පත්කර යැවූ ජනතා නියෝජිතයන් අපගේ අහේනිය, අගහිඟය දකින්නේ මෙසේද? තමන්ගේම ජනතාව බලයට, කාසිවලට, උගසට තැබූ ආණ්ඩුවේ නියෝජිතයින්ට මගේ බලවත් පිළිකුල...
මේ ඡන්දය දීපු 152 ම කාලකණ්ණි සතුටක් ලැබුවා. අපි දැක්කා පාර්ලිමේන්තුවේදී, කාටද ඔය ජෝක් කළේ? මේ රටේ අහිංසක ජනතාවටනේ. මෙයාලා තෙල් මල 300ට ගියත් ඔය වැඩේම කරනවා.
මේ විශ්වාස බංගයෙන් පරාජය වුනේ විපක්ෂය විතරක් නොවේ .ශ්‍රී ලංකාවේ වෙසෙන සියලුම මහා ජනතාවයි
මම දැක්කා වනජීවී ඇමති කියනවා සත්තු වත්තේ ඉන්න සතුන්ට කන්න දෙන්න සල්ලි නෑ කියලා . ඒ එක්කම තව තැනක වාර්තාවෙලා තියෙනවා එක්තරා ඇමති කෙනෙකුගේ ගෙදර අලුත් වැඩියා කරන්න ලක්ෂ 150ක් වියදම් කළා කියල.