(ප්‍රසාද් රුක්මල් )

කොස්ලන්ද උඩදියලුම ඇල්ල රක්ෂිතයට අනවසරෙන් ඇතුලු වී අනාරක්ෂිත ලෙස  කුඩාරමක් ගසා  තරුණ පෙම්වතුන් යුවලකට අනාරක්ෂිතව රැය පහන් කිරිමට ඉඩකඩ සලසා දුන් සංචාරක මග පෙන්වන්නන් ලෙස පෙනි සිටි තරුණයන් දෙදෙනකු මේ මස 25 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කේ.ජීවරානි මහත්මිය නියෝග  කළාය .

 හපුතලේ පිටරත්මලේවත්ත පදිංචි සවුන්දරාජ් විමලේන්ද්‍ර් (24) සහ පූනාගල  3 වන කොටස වයිල්මුඩුක්කුව පදිංචි රාමසාමි මනෝහරන් (33) යන දෙදෙනා මෙලෙස රිමාන්ඩ් කෙරිණි..

මෙම සිදුවීමෙන් මිය ගියේ  පෞද්ගලික රෝහලක  හෙදියක ලෙස පුහුණුව ලැබූ මාතර කැකනදුර ප්‍රදේශයේ පදිංචිව සිටි  ගම්මාචාරිගේ තරුශී කවිශා (23) නැමැති තරුණියයි.

ඇගේ පෙම්වතා අලි පහරින් තුවාල ලබා දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.ඔහු කුරුණෑගල  වාරියපොල ප්‍රදේශයේ  පදිංචි පෞද්ගලික සමාගමක අලෙවි ප්‍රවර්ධන නිළධාරියකු ලෙස සේවය කරන 22 හැවිරිදි තරුණයෙකි.

බලපත්‍ර නොමැතිව සංචාරක මගපෙන්වන්නන් ලෙස කටයුතු කල දෙදෙනා කොස්ලන්ද පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඊයේ (13 )  බණ්ඩාරවෙල අධිකරණයට ඉදිරිපත් කෙරෙිණි.