(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් බලපත්‍රයක් ලබාදීමට රුපියල් ලක්ෂ පහළොවක අල්ලස් ගත් බව කියන රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පෞද්ගලික ලේකම් සහ තවත් දේශපාලන ක්‍රියාකාරිකයෙක් අල්ලස්සො දූසන චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

මඩකලපුව ජයමිණි වැවේ රොන්මඩ ඉවත් කර එම රොන්මඩ නිස්සාරණය කර පැමිණිලිකරු ගේ සමාගම නමින් වැලි කැණීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා බලපත්‍ර ලබාදීම සඳහා එම අල්ලස් මුදල ඉල්ලා ඇති බව සඳහන්වේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කරඩියනාරු ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන දේශපාලන ක්‍රියාකාරකයකු සහ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරයෙකි.

එම දේශපාලන ක්‍රියාකාරිකයා මඩකලපුව නගරයේදී සහ රාජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ඔහුගේ මඩකලපුව දේශපාලන කාර්යාලයේදී අල්ලස් මුදල් ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.