(රෝෂන් තුෂාර)

ප්‍රසිද්ධ දැන්වීම් පළ කර මහජන ආධාර පතන රෝගීන්ගේ ගිණුම් වලට ඇතුළත් වී රුපියල් ලක්ෂ 250කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන අක්කා නගෝ සහ මවගේ අනියම් සැමියා ලබන 19වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (07)නියෝග කළේය .

මුදල් ආධාර ලබා දෙන බවට පවසා රෝගීන්ගේ පුද්ගලික තොරතුරු ලබාගෙන ,එම තොරතුරු භාවිතා කරමින් ජංගම දුරකථන සිම්පත් වල පිටපත් හරහා මෙම වංචාව සිදු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය .

අදාල දුරකථන සමාගම් වලින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර වංචනිකව ලබාගත් සිම්පත් ඔස්සේ අන්තර්ජාලය මගින් වෙනත් ගිණුම් වෙත හුවමාරු කර හෝ රත්රන් බඩු ඇතුළු විවිධ භාණ්ඩ මිලදීගෙන online ක්‍රමයට මුදල් ගෙවා මෙම වංචාව සිදුකරන බවටද කරුණු ඉදිරිපත් කළේය .

ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක රියලිටි වැඩසටහනක ගායෙකුගේ ගිණුමෙන් රුපියල් ලක්ෂ තිස් අටක මුදලක් වංචා කිරීමට එරෙහිව සැකකරුවන් තිදෙනා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේය .

ලිව් කේමියා රෝගයෙන් පෙළෙන ගායන ශිල්පියාට කුලු පගුව කතා කර රුපියල් ලක්ෂ පහක ආධාර මුදලක් ලබා දෙන බවට පවසා තොරතුරු ලබාගෙන ඇති බවද , මහජන ආධාර වශයෙන් ගායන ශිල්පියාගේ ගිනුමට ලැබී තිබූ රුපියල් ලක්ෂ හැත්තෑ අටක මුදලින් ලක්ෂ තිස් අටක් මෙසේ වංචනිකව ලබාගෙන ඇති බවද ,පරිගණක අපරාධ අංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය .