(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද අළුයම  මුහුදට ඇද වැටී මිය ගොස් ඇතැයි වරාය පොලීසිය කියයි.

මුහුදට ඇද වැටුණු ප්‍රධාන ඉංජිනේරුවරයා නෞකාවේ කාර්ය මණ්ඩලය විසින් වහා ගොඩට ගෙන කරාපිටිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙසේ මියගොස් ඇත්තේ ලිතුවේනියානු ජාතික 62 හැවිරිදි ප්‍රධාන ඉංජිනේරුවරයෙකි.

අයහපත් කාලගුණික තත්වය නිසා මෙම නෞකාව පසුගිය 29 වැනිදා සිට ගාල්ල ධීවර වරායේ නැංගුරම් ලා තිබිණි යැයි පොලිසිය කියයි.

භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා ඉහල මහලට නැග කිසියම් කටයුත්තක නිරතව සිටියදී මුහුදට ඇද වැටී තිබෙන බවට තොරතුරු පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.