(අංජුල මහික වීරරත්න)

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කිරීමට නියමිත පුළුල් නවීකරණ වැඩසටහන සඳහා යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යාපන අංශයේ සහාය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එසේම එම ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ ද සහාය ලබා ගන්නා බව ජනාධිපතිවරයා කීය.

කෘත්‍රීම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණය සමඟ බද්ධ වූ දියුණු අධ්‍යාපන ක්‍රමයක් රට තුළ නිර්මාණය කර නවීන ලෝකය සමඟ ඉදිරියට යාමට මෙරට දරුවන්ට අවස්ථාව උදා කර දෙන බවද ජනාධිතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මොනරාගල බුදුරුවගල මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයට ජනාධිපති කාර්යාලයේ දී එක් වෙමිනි.