IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


මාලිමා ආණ්ඩුව රැඩිකල්ද?

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත් වී වසරක කාලයක් සම්පූර්ණවීමත් සමග ඒ සම්බන්ධයෙන් යම් සාකච්ඡාවක් ඇති විය. ඒ කතිකාවේ ප්‍රධානව අවධාරණය වී තිබෙන්නේ පළමු වසරේ දී ආණ්ඩුව අසාර්ථක බව ය. ඒ බව සනාථ කිරීමට තර්ක කිහිපයක් ද ඉදිරිපත් වේ.

දුන් පොරොන්දු ඉටු නොකිරීම, මැතිවරණ වේදිකාවේ දී ජනතාවට බොරු කීම හා ඒවා අනාවරණය වීම වැනි ප්‍රතිශේධනීය විග්‍රහ ඒ අතර වේ. එහෙත් මේ කතිකාව දෙස මැදහත්ව බැලීමේ දී පැහැදිලි වෙන්නේ මේ විවේචනය පළාත් පාලන ආයතන මැතිවරණයත් සමග පැන නැගි එකක් බව ය.

පසුගිය වසරක කාලයේ දී ආණ්ඩුව අභ්‍යන්තරයේ ඇති වූ පරිවර්තනය ගැන මේ විවේචකයන්ට පැහැදිලි අදහසක් ඇති බවක් නොපෙනේ. ඔවුන්ගෙන් බොහෝ දෙනකු සිතන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුව යනු ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් බව ය. ජවිපෙ යනු මාක්ස්වාදී රැඩිකල් විප්ලවවාදී දේශපාලන ව්‍යාපාරයක්ය යන්න ඔවුන්ගේ තවත් අදහසකි. එබැවින් ජවිපෙ බලය ගත් පසු රැඩිකල් දේශපාලන බලවේගයක් හැටියට හැසිරෙනු ඇතැයි ද ඔවුහු උපකල්පනය කළහ. කොළඹ නාගරික සමාජයේ ඇතැම්හු ද එය විශ්වාස කළහ. එහෙත් 2024 දී ලංකාවේ බලයට පත් වූයේ කොමියුනිස්ට්වාදී ආණ්ඩුවක් නොවේ. වත්මන් ආණ්ඩුව මා නිර්වචනය කරන්නේ වාමාංශික සම්බන්ධයක් ඇති එහෙත් දැනට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ඇතුළත කටයුතු කරන මැද මාවතෙහි ගමන් කරන ප්‍රගතිශීලී ආණ්ඩුවක් හැටියට ය. මාලිමා ආණ්ඩුව 1970-1980 ගණන්වල පැවැති ජවිපෙ ස්වරූපය වශයෙන් තේරුම් ගැනීම වැරැදි ය.

ආණ්ඩුව මේ දක්වා කටයුතු කළේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී සීමා ඇතුළත හෙයින් ආණ්ඩුවට විශාල සීමා ඇත. මේ තත්වය උදාහරණයකින් පැහැදිලි කරන්නේ නම්, දූෂිතයන්ට දඬුවම් ලබා දෙන බවට ආණ්ඩුව දුන් පොරොන්දුව ප්‍රකාරව විවිධ චෝදනා එල්ලවූවන් හිතුවක්කාර සහ මර්දනකාරී ලෙස අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පමුණුවතියි ඔවුහු බලාපොරොත්තු වූහ. පළමු වසරේදීම නඩු අසා රාජපක්ෂ කෙනකු හිරේ දමනු ඇතැයි සමහරු සිතූහ. එහෙත් එවැන්නක් සිදු වූයේ නැත. ඊට හේතුව අවස්ථා කිහිපයකදීම ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති පරිදි ආණ්ඩුව කටයුතු කරන්නේ නීතියේ ආධිපත්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ව්‍යවස්ථාවේ සීමා ඇතුළත වන නිසා ය. එය සත්‍යයකි. එබැවින් මෙවැනි ආණ්ඩුවකට සිය කටයුතු බොහෝ සීමා ඇතුළත කිරීමට සිදු වේ.

ආණ්ඩුවේ විවේචකයන්ට මේ ආණ්ඩුව සහ වෙනස් වෙමින් යන දේශපාලන සංස්කෘතිය තේරුම් ගැනීමට නොහැකි ය. එය ඔවුන්ට ව්‍යාකූලත්වයකි. මාලිමා ආණ්ඩුව තනි පක්ෂ ඒකාධිපතිත්වයක් කරා ගමන් ගනිමින් සිටින බවට කරන ප්‍රකාශය ද තේරුම් ගත හැක්කේ එම ව්‍යාකූලත්වයේ කොටසක් ලෙස ය. 1990 ගණන්වල සිට ලංකාවේ ලිබරල් සහ ප්‍රගතිශීලි දේශපාලන කතිකාව විසින් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ හැටියට තේරුම් ගනු ලැබුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය පරිවර්තන පමණි. එවක දී ලංකා රාජ්‍ය බැරෑරුම් ලෙස එහි අභ්‍යන්තරයේ සිදු වූ වෙනත් ආකාරයේ ව්‍යුහාත්මක පරිහානියකට ලක්ව තිබිණ. මර්දනකාරී මිලිටරිකරණය, රාජ්‍යය පවුල් කිහිපයක් විසින් ඩැහැගනු ලැබීම, දේශපාලන පක්ෂ, දේශපාලනඥයන්, ආරක්ෂක අංශ සහ පාතාලය අතර සමීප සබඳතා ඇති වීම මගින් රාජ්‍යය අපරාධ රාජ්‍යයක් බවට පත්වීම, දූෂණය ආණ්ඩුකරණයේ සාමාන්‍ය ලක්ෂණයක් වීම යනු එම පරිහානියේ අවස්ථා කිහිපයකි. මෙම පසුබිමේ රාජ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ යන සංකල්පයට අලු‍ත් අර්ථයක් ද ලැබිණ. එය නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලට සමාන්තරව රාජ්‍යයේ අභ්‍යන්තර ව්‍යුහගත ප්‍රතිසංස්කරණ වහා අවශ්‍යය යන්නයි. මෙයින් ගම්‍ය වන්නේ රාජ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව 1990 ගණන්වල දී ඇති වූ කතිකාව ඉක්මවා යෑමට ලංකාවට අවශ්‍ය බව යි. මෙම යථාර්ථය වටහා ගෙන එය තමන්ගේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට කටයුතු කළේ එන්.පී.පී.ය පමණි.

මීට පෙර බලයේ සිටි ආණ්ඩු පොරොන්දු දී එහෙත් ඉටු නොකළ මෙම රාජ්‍ය අභ්‍යන්තර ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කරමින් ආරම්භයක් ගැනීමට ආණ්ඩුව කටයුතු කරන බව මට පෙනේ. එය මේ ආණ්ඩුව පෙර පැවැති ආණ්ඩුවලින් වෙනස් වෙන එක් අවස්ථාවකි. වංචා දූෂණ අල්ලස්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම, පසුගිය කාලයේ නොවිසඳුණු දේශපාලන අපරාධ ගැන විමර්ශන කිරීම ආදිය ගෙවුණු වසරේ දී පෙරට එන්නේ ඒ අනුව ය. ආණ්ඩුව වෙනස් වී තිබුණ ද තවමත් රාජ්‍ය යාන්ත්‍රණය වෙනස් වී නැති බවට ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් කීවේ ය. එම ප්‍රකාශයට මම එකඟ වෙමි. ජාතික ජන බලවේගයට ආණ්ඩු බලය තිබුණ ද රාජ්‍ය බලය ඔවුන් අතට පත්ව නොමැත. රාජ්‍ය බලය යන්නට අයත් වෙන්නේ පොලිසිය, හමුදාව, පරිපාලන ව්‍යුහය යන ඒකක ය. මේ රාජ්‍ය ව්‍යුහය තවමත් පැරැණි දේශපාලන ක්‍රමයේ නිර්මාණයකි. එය ප්‍රතිසංස්කරණය නොකර ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයකින් පමණක් වත්මන් ලංකාවේ රාජ්‍යයවත් දේශපාලනයවත් ප්‍රජාතාන්ත්‍රික කළ නොහැකි ය.

ක්‍රම වෙනස යන්නෙහි රාජ්‍ය ව්‍යුහය ඇතුළතින් සහ පිටතින් වෙනස් කළ යුතුය යන අවධාරණය ද තිබේ. එය ආණ්ඩුවට අභියෝගයකි. ආණ්ඩුව සෙමෙන් සහ අති ධාවනකාරී නොවී කටයුතු කරන්නේ ද එබැවිනි. මා සිතන හැටියට ක්‍රම වෙනස කිරීමට පෙර ක්‍රමය යනු කුමක්දැයි ආණ්ඩුව තේරුම් ගෙන තිබේ. කලින් සඳහන් කළ පරිදි අති ධාවනකාරී ගමනක ආණ්ඩුව නිරත නොවන්නේ ද එම තේරුම් ගැනීම නිසා ය. නිදසුනක් වශයෙන් ආණ්ඩුවට පහසුවෙන් පොලිසිය සහ හමුදා මෙන් ම නිලධරතන්ත්‍රයත් පිරිසුදු කළ නොහැකි ය. පසුගිය කාලයේ දී රාජපක්ෂ පාලන තන්ත්‍රය විසින් ඒවා ඔවුන්ගේ දේශපාලන මතවාදී සහ පුද්ගලවාදී බලපෑම යටතට ගනු ලැබ තිබීම එයට හේතුවයි. එනයින් මේවා කඩිනමින් වෙනස් කළ නොහැකි අතර එසේ කළ හොත් කුමනාකාරයේ ප්‍රතිචාර පැමිණේ ද යන්න නිශ්චය කර ගැනීමත් පහසු නැත. පරිපාලන සේවය ද ඇතුළුව මේ කිසිදු අංශයක විප්ලවයකින් හැර රැඩිකල් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ නොහැකි ය.

මෙය ආණ්ඩුව මුහුණ දෙන ඉතා බරපතළ අභියෝගයකි. එය අඩුවෙන් තක්සේරු කළ නොහැකි ය. ආණ්ඩුව සෙමෙන් ගමන් කරන්නේ එබැවිනි. සෙමෙන් ගමන් කිරීම ජවිපෙ නායකත්වය අතීතයෙන් ඉගෙන ගෙන තිබෙන දේශපාලන පාඩමක් බව පෙනේ.

ක්‍රම වෙනසක් ඇති කිරීම යන්නෙන් බොහෝ දේවල් අදහස් වේ. ධනපති ක්‍රමය වෙනස් කරන්නේ ද නැද්ද එකකි. ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් ඉක්මන් පියවරක් ගනිතියි බලාපොරොත්තු විය නොහැකි ය. ආණ්ඩුව උත්සාහ ගන්නේ පවත්නා ධනපති ක්‍රමය ඇතුළත කටයුතු කිරීමට ය. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අවධියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ණය වැඩසටහනෙන් වත්මන් ආණ්ඩුව බැහැර නොවීම එය තේරුම් ගත හැකි එක් අවස්ථාවකි. එයින් ඉවත් වූයේ නම් ඒත් සමග ඇතිවන ව්‍යාකූලත්වයට සහ අර්බුදයට වගකීමට ආණ්ඩුව කැමැති වන්නේ ද නැත. ලෝක ධනපති ක්‍රමයට හිරවී සිටින ලංකාවේ ආණ්ඩුවට එයින් විතැන් වී පැවැත්ම තහවුරු කර ගැනීම දුෂ්කර ය. ඡන්දදායකයෝ එවැනි විතැන් වීමක් අපේක්ෂා නොකළහ. ප්‍රජාතාන්ත්‍රීය ලෙස සිදුවන පරිවර්තන ඔවුහු බලපොරොත්තු වෙති. ආණ්ඩුව ක්‍රියාකරන්නේ ප්‍රායෝගිකවාදී රාමුවක් ඇතුළත බව පෙනේ.

ආණ්ඩුව ආධුනික බව සැබෑ ය. මා සිතන හැටියට ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කරන්නේ ද නැත. රැඩිකල් ප්‍රතිසංස්කරණවලට ආණ්ඩුව නොයන්නේත් එනිසා ය. ජවිපෙ වසර ගණනාවක් තිස්සේ මන්ත්‍රී ධුර සුළු ප්‍රමාණයක් සහිතව විපක්ෂයේ භූමිකාව ඉටු කළ පක්ෂයකි. පරිපාලනය පිළිබඳ ඔවුන් සතු අත්දැකීම තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව පමණි. රාජ්‍ය කළමනාකරණය පිළිබඳ එවැනි අත්දැකීම් රහිත ආධුනික ආණ්ඩුවකින් රැඩිකල් ප්‍රතිසංස්කරණ අපේක්ෂා කළ නොහැකි ය. එය යථාර්ථවාදී නැත. ආණ්ඩුවත් පාඩම් ඉගෙන ගනිමින් සිටියි. ජනාධිපතිවරයා වරෙක ප්‍රකාශ කළේ තම ආණ්ඩුව කටයුතු කරන්නේ ප්‍රායෝගික බුද්ධිය මත බව ය. ජවිපෙ දේශපාලන මතවාදයක් විසින් මග පෙන්වනු ලබන ව්‍යාපාරයක් වුවත් ජාතික ජන බලවේග ආණ්ඩුව මගපෙන්වනු ලබන්නේ සාම්ප්‍රදායයික මතවාදී අනන්‍යතාවක් නැති එහි ප්‍රතිපත්ති ප්‍රකාශනය විසිනි. නිශ්චිත මතවාදයක් නොමැති වීම බරපතළ ගැටලු‍වක් ලෙස මම නොදකිමි.

මෙරට ආණ්ඩුකරණ ඉතිහාසය ගත්විට මෙම ආණ්ඩුව අලු‍ත් ආකාරයේ අත්හදාබැලීමක් වශයෙන් හැඳින්විය හැකි ය. එය අපි පිළිගත යුතු වෙමු. එසේම මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ නව අත්හදාබැලීමකි. ඊට හේතුව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී අනන්‍යතාවක් නොතිබුණු දේශපාලන ව්‍යාපාරයක් බලයට පැමිණ එම රාමුව ඇතුළත කටයුතු කරන හෙයිනි. මේ සන්දර්භයේ විපක්ෂයේ පක්ෂවලට ජාතික ජන බලවේගය අභියෝගයකි. විපක්ෂය නියෝජනය කරන කිසිදු පක්ෂයක් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ලෙස සැලකිය නොහැකි ය. එම පක්ෂ සහ එවායෙහි නායකයන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට ක්‍රියා කළ සාධක ය. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අවකාශය යටකරමින් විධායක ජනාධිපති අධිකාරවාදී දේශපාලන ක්‍රමය ස්ථාපිත කළේ එම පක්ෂයි. එක්සත් ජාතික පක්ෂයත් මහින්ද රාජපක්ෂ පාලන තන්ත්‍රයත් ඒ දේශපාලනයේ ප්‍රමුඛ ප්‍රකාශකයෝ ය. ඔවුන් තමන් ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියන්නේ ඉතාම පටු අර්ථයකිනි.

මේ සන්දර්භයේ වත්මන් ආණ්ඩුවට ඇති ප්‍රධාන අභියෝගය වන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී නොවන පසුබිමකින් පැමිණ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුළත ක්‍රම වෙනසක් ඇති කරන්නේ කෙසේද යන්න ය. එය මේ ආණ්ඩුවේ විශේෂත්වය ද වෙයි. එහි සාර්ථක අසාර්ථකභාවය ගැන කල්තියා ප්‍රකාශ කළ නොහැකි ය. ජාතික ජන බලවේග ආණ්ඩුව අධිකාරවාදයේ සිට ප්‍රජාතන්ත්‍රවාදය දක්වා වන පරිවර්තනය පිළිබඳ අලු‍ත් ආකාරයේ අත්හදා බැලීමකැයි මා කියන්නේ මේ අර්ථයෙනි. දකුණු ආසියාවේ වෙනත් රටක මෙවැනි අත්හදාබැලීමක් නැත. ආණ්ඩුව ගැන දරුණු විවේචන කිරීමට පෙර මේ යථාර්ථය අපි තේරුම් ගත යුතු වෙමු.

ඇති වෙමින් තිබෙන දේශපාලන සංස්කෘතියේ වෙනස විපක්ෂය නිවැරැදිව ග්‍රහණය කරගෙන ඇති බවක් නොපෙනේ. 2024 දී පැවැති ජනාධිපතිවරණය හා මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමට විපක්ෂයට නොහැකි වූයේ මන්දැයි යමකු ප්‍රශ්න කළ හොත් ඊට විපක්ෂයෙන් ලැබෙන පිළිතුර වන්නේ එම මැතිවරණවලදී ජාතික ජන බලවේගය පැවසූ බොරුවලට ඡන්දදායකයා රැවටුණු බව ය. එය නිවැරැදි පිළිතුරක් නොවේ. අප විරුද්ධ පක්ෂයෙන් බලාපොරොත්තු වන්නේ ඊට වඩා බැරැරුම් දේශපාලනික වශයෙන් වගකීම් සහගත පිළිතුරකි. එහෙත් එවැනි ප්‍රතිචාරයක් දැක්වීමට නොහැකි වීමෙන් විපක්ෂයේ ඇති දේශපාලන දරිද්‍රතාව ප්‍රදර්ශනය වේ.

මෙරට දේශපාලනය 2024 න් පසු සම්පූර්ණයෙන් ම වෙනස් විය. එම වෙනස්වීමේ මංසලකුණ අරගලය යි. අද විපක්ෂය නියෝජනය කරන දේශපාලන කණ්ඩායම් විවිධ ප්‍රමාණවලින් අරගලය නියෝජනය කළ ද ඔවුන්ට අරගලයෙහි හරය පිළිබඳ අවබෝධයක් නොතිබිණි. රාජපක්ෂලාට විරුද්ධව සංවිධානය වීමට හොඳ අවස්ථාවක් ලෙස ඔවුහු අරගලය දුටුවෝ ය. ශ්‍රී ලාංකේය ජනතාව තවදුරටත් පැරැණි ක්‍රමය නොඉවසන බව අරගලය විසින් අපට පෙන්වා දෙනු ලැබීය. පැරැණි දේශපාලන පක්ෂ සහ නායකත්වය නොපිළිගන්නා බවට වන අවධාරණය ද එහි ගැබ්ව තිබිණ. එහි ඇඟවුම ඒවා සම්බන්ධ මහජන විශ්වාසය දරුණු ආකාරයට බිඳවැටී තිබූ බව ය. අරගලකරුවන් විසින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් පහ කරනු ලැබූ පසු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහාය ඇතිව රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති වශයෙන් බලයට පැමිණය ද එම පැමිණීම වෙසනක් ඇති කිරීමේ අපේක්ෂාවෙන් සිදු වූවක් නොවේ. එය මහජනයා විරුද්ධ වූ පැරැණි ක්‍රමය දක්ෂිණාංශයේ නව සන්ධානයක් මගින් යළි ඉදිරියට ගෙන යෑමකි.

ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහකිරීමෙන් පසු ඇති වූ හිඩැස පිරවීමට සිටියේ ජවිපෙ ය. එම පක්ෂය ඒ වනවිට ජාතික ජන බලවේගය බවට පත්ව තිබුණි. බංග්ලාදේශයේ අරගලයෙන් ෂෙක් හසීනා බලයෙන් පහකර වසරකට අධික කාලයක් ගත වී ඇතත් තවමත් ස්ථිර ආණ්ඩුවක් පිහිටුවීමට හැකි වී නොමැත. මෙයින් අපට උගත හැකි පාඩම නම්, ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් විකල්ප නැති රටවල නැවතත් අරගලවලින් පසු දක්ෂිණාංශික ආණ්ඩු බලයට පත්වන බව ය. එහෙත් ලංකාවේ එවැන්නක් සිදු නොවුණි. ඊට හේතුව ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවාදී විකල්පයක් වශයෙන් ජාතික ජන බලවේගය බලයට පැමිණීම ය. මෙය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයෙහි ඇති අසාමාන්‍ය විශේෂත්වයකි. එහෙත් ආණ්ඩුවේ විවේචකයන්ට එම දේශපාලන යථාර්ථය නොපෙනේ.

(*** සාකච්ඡා සටහන  උපුල් වික්‍රමසිංහ)



අදහස් (0)

මාලිමා ආණ්ඩුව රැඩිකල්ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 964 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1024 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 407 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site