IMG-LOGO

ජල ගැලීමක අවදානම අතළඟද?

ශ්‍රී ලංකාව නිවර්තන කලාපයේ පිහිටි රටක් ලෙස වසර පුරා හිරු රශ්මිය නිරන්තරයෙන් ලැබෙනවා සේම වර්ෂාපතනය ද කලානුරූපව ප්‍රධාන වශයෙන් නිරිත දිග හා ඊශාන දිග මෝසම් හරහා ලැබේ. ශ්‍රී ලංකාවේ තෙත් කලාපයට ‘නිරිත දිග මෝසම’ මූලික කරගෙනත්, වියළි කලාපයට ‘ඊශාන දිග මෝසම’ මූලික කරගෙනත් වර්ෂාපතනය ලැබේ.

අන්තර් මෝසම් වර්ෂාව ද සලකා බැලූ විට, වර්තමානයේ ශ්‍රී ලංකාවේ මෝසම් වර්ෂා රටාවල ඉතා පැහැදිලි වෙනස්කම් දැකගන්නට ලැබෙමින් පවතී. මෙම වෙනස්කම්වලට මූලික සහ ආසන්නතම හේතු සාධක ලෙස ‘ගෝලීය උණුසුම්කරණය’ සහ ‘දේශගුණික විපර්යාස’ පෙන්වා දිය හැකිය.

 

ගෝලීය උණුසුම්කරණය සහ දේශගුණික විපර්යාස

දේශගුණික විපර්යාස යනු සරලව ‘සාමාන්‍ය කාලගුණික රටාවල දීර්ඝකාලීනව ඇති වන වෙනස්කම්’ ය. මෙම වෙනස්කම් ප්‍රාදේශීයව මෙන්ම ගෝලීයව ද සලකා බැලිය හැකිය. නූතන දුරස්ථ සන්නිවේදන දත්ත සහ පර් යේෂණ ප්‍රතිඵල අනුව, ගෝලීය උණුසුම්කරණය, දේශගුණික විපර්යාස ඉතා තීව්‍ර කිරීමට ප්‍රබලව බලපා ඇත. මෙම කනගාටුදායක තත්වය තීව්‍ර කිරීමට, හානිදායක වායු විමෝචනයට අමතරව නානාවිධ වූ මානව ක්‍රියාකාරකම් හේතු වී ඇත. ලොව ස්වභාවික වනාන්තර ආවරණය ශීඝ්‍ර ලෙස අවම වීම ද ඍජුව බලපා ඇති කරුණකි. බ්‍රසීලයේ ඇමසන් මෙන්ම ශ්‍රී ලංකාවේ සිංහරාජ වනාන්තර මේ සම්බන්ධයෙන් මොනවට නිදසුන් සපයයි. අනික් අතට, වනාන්තර විනාශය, පරිසර පද්ධති සේවා බොහොමයක් මිනිසාට අහිමි කරයි.

ගෝලීය උණුසුම්කරණයේ සහ දේශගුණික විපර්යාසවල වඩා හානිදායකම ප්‍රතිඵල ‘අනපේක්‍ෂිත ස්වාභාවික ආපදා’ හරහා මිනිසාට අත්විඳීමට සිදු වී ඇත. මෙම අනපේක්‍ෂිත අතිශය ප්‍රබල ආපදාවල සුවිශේෂත්වය වන්නේ, ඒවායෙහි තීව්‍රතාව/ ප්‍රබලත්වය ඉතා ඉහළ (අසමාන) වන්නා සේම, පුරෝකථනය කිරීමට නොහැකි වීමයි. එනම්, දියුණු රටවල ස්ථාපිත කොට ඇති දියුණු බහු ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිවලට පවා මෙම ස්වරූපයේ ආපදා නිශ්චිතව පුරෝකථනය කිරීමට නොහැකි වී ඇත. මෙම ආපදා මූලික වශයෙන්, ජල-කාලගුණික ආපදා ලෙස හඳුනාගෙන ඇත. මේ අතර, ‘අධි තීව්‍රතා වැසි, අති ප්‍රබල ගංවතුර තත්ව, අනපේක්‍ෂිත නායයාම්, දීර්ඝ කාලීන නියඟ, උණුසුම් තරංග, සීත තරංග, අසාමාන්‍ය සීත ඍතු, සහ දීර්ඝ කාලීන සහ ප්‍රබල නිවර්තන වාසුළි තත්ව ප්‍රධාන වේ.

 

ආන්තික ගංවතුර තත්වවල ගෝලීය උපනති

ගෝලීය උණුසුම්කරණයේ සහ ගෝලීය දේශගුණික අර්බුදයේ වඩා ප්‍රබල අන්තය වන්නේ ‘ආන්තික ගංවතුර’ ආපදාය. පසුගිය වසර හතර තුළ (2021-2024) ලොව බොහෝ දියුණු මෙන්ම දියුණු වන රටවල් ‘මහා ගංවතුර’ තත්වයන්ට ගොදුරු විය. අතිශය ප්‍රබල තීව්‍රතාවකින් කෙටි කාලයක් තුළ ඇදහැළෙන අධික වර්ෂාව මෙම මහා ගංවතුර තත්වයන්ට ප්‍රධාන හේතුවයි. දියුණු රටක් වන ජර්මනිය, 2021 වසරේ ජුලි මස ඇදහැළුණු මහා ධාරානිපාත වර්ෂාව සහ ප්‍රබල ගංවතුර හේතුවෙන් මහා විපතකට ලක්විය. ඉන් ජීවිත සිය ගණනක් අහිමි වූ අතර, ලක්‍ෂ ගණනක් සාමාන්‍ය ජනයා බලපෑමට ලක්විය. ජර්මනියේ ස්ථාපිත කර තිබූ බහු ආපදා පූර්ව-අනතුරු ඇඟවීමේ පද්ධති, එම සිදුවීම සම්බන්ධයෙන් කිසිදු අනාවැකියක් පළ කර නොතිබිණ. සමස්ත දේපළ හානිය යුරෝ බිලියන ගණනක් විය. 2022 වසරේ අගෝස්තු මස දියුණු වන රටක් ලෙස පාකිස්තානය, මෝසම් වැසි අතරතුර ඉතිහාසයේ මහා ගංවතුර ආපදාවකට ලක්වූ අතර, ජීවිත දහසකට වඩා අහිමි විය. ඉන් පුද්ගලයෝ මිලියන 33කට වඩා බලපෑමට ලක්වූහ. මෙම තත්වය පාකිස්තාන ඉතිහාසයේ ‘මහා දේශගුණික විපත්තිය’ ලෙස නම් කෙරිණ. සමස්ත හානිය පාකිස්තාන ආර්ථිකයට ප්‍රබලව දැනෙන්නට විය.

විශේෂයෙන් වියළි කාලගුණයක් පවතින අරාබිකරයට (සවුදි ආරබිය ප්‍රමුඛ), 2024 වසරේ ජනවාරි මස ලැබුණු අධික වර්ෂාවෙන් විශාල ගංවතුර තත්වයක් උද්ගත විය. එම වසරේ අප්‍රේල් මස කෙන්යාවේ නයිරෝබි ප්‍රමුඛ ඊශාන දිග අප්‍රිකානු කලාපයට ලැබුණු මහා වර්ෂාවෙන් ජීවිත සිය ගණනක් අහිමි වී ලක්‍ෂ ගණනක් අවතැන් වූහ. එමෙන්ම, පසුගිය වසරේ ඔක්තෝබර් මස ස්පාඤ්ඤයේ දකුණු (වැලන්සියා ප්‍රමුඛ) සහ නැගෙනහිර ප්‍රදේශවලට ‘ඩානා’ සුළි කුණාටුව හේතුවෙන් ඇදහැළුණු වර්ෂාව මගින් විනාශකාරි ගංවතුර තත්වයක් උද්ගත වූ අතර, අතිවිශාල ආර්ථික හානියක් එම ප්‍රදේශවලට අත්විඳින්නට විය. එම තත්වයට මූලිකම හේතුව වූයේ‌, එරට පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති නිසි ලෙස ක්‍රියාත්මක නොවීමයි. මෙම ආන්තික තත්වය හමුවේ ලොව දියුණු රටවල් බරපතළ අර්බුදයට ලක්වී ඇති වටපිටාවක් තුළ, අප ශ්‍රී ලංකාව වැනි දියුණු වන රටක තත්වය කොතරම් බරපතළ විය හැකි ද?

 

දින හතළිස් පහේ ගංවතුර

දින හතළිස් පහේ ගංවතුර යනු, ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ කළු ගංගාවේ මධ්‍යම සහ පහළ නිම්න මිටියාවත්වල ගංවතුර සමග දසක ගණනක් තිස්සේ ජීවත් වන ජනතාවගේ පාරම්පරික ඥාන භාවිතය (traditional knowledge practices) මත පදනම් ව හඳුනාගෙන ඇති ස්වාභාවික සංසිද්ධියකි. දින 45 යන්න ගණනය කරන්නේ, සෑම වසරකම අප්‍රේල් මස මැද සිටය. එනම්, අප්‍රේල් මස 15 වැනි දින සිට මැයි මස අවසානය වන විට දින 45 සපිරේ. සෑම වසරකම මැයි මාසයේ නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රිය වේ. නිරිත දිග මෝසමෙන් වැඩිම වර්ෂාපතනයක් ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ තෙත් කලාපයටයි. මේ අතර සබරගමු පළාත, බස්නාහිර පළාත සහ දකුණු පළාත ප්‍රධාන වේ. මේ අනුව, සෑම වසරකම මැයි අවසානයේ හෝ ජුනි මස ආරම්භයේ කළු ගංගාවේ මධ්‍යම සහ පහළ නිම්න ප්‍රදේශවලට (රත්නපුර ප්‍රමුඛව) සුළු වශයෙන් හෝ ගංවතුර තත්වයක් ඇති වේ.

2017 වර්ෂයේ සාපේක්‍ෂව මෙම තත්වය ඉතා ප්‍රබල විය. මූලික වශයෙන්ම නිරිත දිග මෝසම වඩා ප්‍රබල වීමට බලපෑ ඇති ප්‍රධාන හේතු සාධකය වන්නේ, නිවර්තන කලාපය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීමයි. විශේෂයෙන්ම නිරිත දිග මෝසම් සුළං හමා එන ශ්‍රී ලංකාවට නිරිත සහ දකුණු මුහුදු ප්‍රදේශය (ඉන්දියන් සාගරය) විශාල ගොඩබිම්වලින් තොරය. මේ හේතුවෙන් එම සුළං නිරන්තරයෙන් ජල වාෂ්පවලින් සංතෘප්ත වී හමා එයි. මේ අනුව සුළං මුහුණතේ පිහිටි තෙත් කලාපයේ බොහෝ ප්‍රදේශවලට ධාරානිපාත වැසි ලැබේ. ගෝලීය උණුසුම්කරණය සහ දේශගුණික විපර්යාසවල බලපෑම නිසා, නිරිත දිග මෝසමේ සාමාන්‍ය ස්වරූපය වෙනස් වී, ඒ හා සම්බන්ධ ආපදා ආන්තික මෙන්ම ඉතා විනාශකාරි ස්වරූපයක් ගෙන ඇත. එමෙන්ම, මෝසම් වර්ෂා රටාව (අන්තර් මෝසම් ඇතුළුව) විචල්‍යතා ද කෙමෙන් තීව්‍ර වී ඇත. මෙම පසුබිම මත, 2025 වසරේ මැයි මස අවසානයේ හෝ ජුනි මස ආරම්භයේ පැමිණීමට නියමිත දින 45හේ ගංවතුර ඉතා ප්‍රබල වීමට තිබෙන සම්භාවිතාව ඉහළය.

 

නූතන පර්යේෂණ ප්‍රතිඵල

විශේෂයෙන්ම පසුගිය වසරේ දින 45 ගංවතුරට අදාළව, ඓතිහාසිකව ප්‍රබල සහ ඉතා ඉහළ තීව්‍රතාවකින් ධාරානිපාත වර්ෂාපතනයක් ලැබුණේ 2024 ජුනි මස දෙවැනි දිනයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ වාර්තාව අනුව මෙම දින (පැය 24ක කාලය තුළ) ඇහැළියගොඩ ප්‍රදේශයට මිලිමීටර් (මි.මී.) 436.6ක ද, හල්වතුර වතුයාය ප්‍රදේශයට මි.මී. 349ක ද, මාකෙලිඇල්ල ප්‍රදේශයට මි.මී. 301.5ක ද ආන්තික වර්ෂාපතන පතිත වී ඇත. මේ අනුව අපගේ පර් යේෂණයට භාජන වූයේ, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රදේශයයි. ක්‍ෂේත්‍ර සමීක්‍ෂණවලින් අපට හඳුනාගත හැකි වූයේ, ‘ධනාගල කඳුකර’ ප්‍රදේශයට සහ අවට පිහිටි කරදන දකුණ (143 A)‌, කරදන - උතුර (143) සහ සිරිසමන්පුර (143 E) ග්‍රාම නිලධාරි වසම්වලට යථෝක්ත මි.මී. 436.6ක ආන්තික වර්ෂාපතනය පතිත වී ඇති බවයි. අප පර් යේෂණ කණ්ඩායම ප්‍රදේශවාසින් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවලින් තහවුරු වූයේ, ඔවුන්ගේ ජීවිත කාලය තුළ අත්විඳි අති ප්‍රබලම වර්ෂාපතනය එය බවයි.

ප්‍රදේශවාසින්ට අනුව, මෙම මහා වර්ෂාතනය නිසා එම ප්‍රදේශවල නායයාම්, ගස් ඇලවීම් සහ පෙරළීම්, අසාමාන්‍ය ලෙස භූමිය ඉරිතැලීම්, පාෂාණ සහ කණ්ඩි කඩා වැටීම්, භූමිය විකෘති වීම්, නව උල්පත් පැනනැගීම්, අතු ගංගා මාර්ග වෙනස්වීම්, අධි තීව්‍රතාවකින් යුත් අතු ගංගා ගලායාම්, ඉහළ ජලපෝෂක ප්‍රදේශ පවා ගංවතුරට යට වීම යනාදි අහිතකර ප්‍රතිඵල රාශියක් අත්විඳින්නට සිදු වී ඇත. මෙහි ඇති භයානකම අවදානම වන්නේ, අධි තීව්‍රතාවකින් යුත් වර්ෂා තත්වය නිසා, නායයාමට කිසිදු විභවතාවක් නැති ප්‍රදේශ/ ස්ථාන පවා නායයාමට ලක්විය හැකි වීමයි.

ඉහතින් සඳහන් කළ වර්ෂාපතනයෙහි පසුගිය වසර 30ක කාලසීමාව තුළ (1991–2020), ස්වරූපය හඳුනා ගැනීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ, භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ දර්ශනසූරි උපාධිය හදාරන මහකුමාරගේ අජිත් නන්දන මහතා, දුරස්ථ සන්වේදන දත්ත භාවිත කර (දෛනික වර්ෂාපතන දත්ත) සිදු කළ විශ්ලේෂණයේදී අපට හඳුනාගත හැකි වූයේ, පසුගිය වසරේ දින 45 ගංවතුරට සමගාමීව ලැබුණු අති ප්‍රබල වර්ෂාපතනය තරම් දැඩි තීව්‍රතාවකින් යුත් වර්ෂාපතනයක් ශ්‍රී ලංකාවට ලැබී නැති බවයි. මෙම පර් යේෂණ ප්‍රතිඵලවලින් මොනවට ගම්‍යමාන වන්නේ, ශ්‍රී ලංකාවේ අද්‍යතන වර්ෂාපනයන්හි තීව්‍රතාව ඉතා භයානක ලෙස ඉහළ ගොස් ඇති බවයි. ලෝක අත්දැකීම් අනුව මෙම තත්වය පුරෝකථනය කිරීමට ද හැකියාවක් නැත. 2021 ජර්මන් ගංවතුර සහ 2024 ස්පාඤ්ඤ ගංවතුර තත්වය මොනවට නිදසුන් දරයි.

සමස්තයක් ලෙස යථෝක්ත තත්වය සඳහා මනා ආපදා පෙර සූදානමක් අප රටට අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන් රත්නපුර, කළුතර, ගාල්ල, කොළඹ, ගම්පහ, මාතර, මහනුවර සහ නුවරඑළිය යනාදි දිස්ත්‍රික්කවල පහත් නිම්න ප්‍රදේශවල සහ කඳුකර ප්‍රදේශවල ජීවත්වන ජනතාව මෙන්ම තෙත් කලාපයේ සෙසු දිස්ත්‍රික්කවල ජීවත්වන ජනතාව ද මෙම කාල වකවානුවේ ඉතා සැලකිලිමත් විය යුතුය. වර්තමාන වර්ෂාපතන හා සම්බන්ධ ආපදාවල සැබෑ ස්වරූපය වන්නේ “බහු ආපදා” තත්වය බැවිනි.

(***)



අදහස් (0)

ජල ගැලීමක අවදානම අතළඟද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1444 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 531 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 600 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site