IMG-LOGO

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා


ආණ්ඩුව වෙනස හදුනාගෙනද?

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයකුගේ නිලකාලය වසර පහකි. ඒ අනුව ඊයේ (21) දිනට වර්තමාන ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් වසරක් සම්පූර්ණ විය. ගෙවුණු වසරක කාලයේ දී ආණ්ඩුවේ කාර්ය සාධනය පරීක්ෂාවට ලක් කිරීම වැදගත් ය.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වූ විගසම මහජනයා අපේක්ෂා කළ දේවල් එලෙසම ඉටු නොවූ බව පළමු කොට කිව යුතු ය. එය පැති දෙකකින් විමසුමට ලක් කිරීමට පිළිවන. පළමුවැන්න ජනතා අපේක්ෂාවල ස්වභාවය යි. ආණ්ඩුවක් බලයට පත් වූ සැණින් සියල්ල වෙනස් විය යුතු යැයි ජනතාව සිතති. කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි වෙනස්කම් වහාම ඇති කළ යුතුය යන්න ජනතා අපේක්ෂාවයි. එය ජනතාවගේ පැත්තෙන් සාධාරණ ය. දෙවැනි පැතිකඩ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් සිතන ආකාරය යි.

එහිදී සිහියට ගතයුතු වැදගත් කාරණයක් වන්නේ ජාතික ජන බලවේගය මීට පෙර පූර්ණ වශයෙන් ආණ්ඩුකරණයට සම්බන්ධ වූ දේශපාලනික කණ්ඩායමක් නොවන බව ය. ඔවුහු බොහෝ කාලයක් විපක්ෂයේ සිටිමින් ආණ්ඩුවල ක්‍රියාකාරීත්වය විවේචනයට ලක් කළහ. ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් කිහිප දෙනකු චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවේ අමාත්‍යවරුන් වශයෙන් කටයුතු කළ ද සමස්ත වශයෙන් ආණ්ඩුකරණයට සම්බන්ධ වූයේ නැත. මේ සන්දර්භයේ වර්තමාන ආණ්ඩුවට තිබූ මූලික අභියෝගය වූයේ ක්‍රමයේ වෙනසක් කිරීමේ දී ක්‍රමය කුමක්දැයි නිවැරැදිව නිශ්චය කරගැනීම ය. ආණ්ඩුව එය බැරෑරුම්ව තේරුම් නොගත් බව මගේ නිරීක්ෂණය යි. ක්‍රමය වෙනස් කිරීමට පෙර තිබෙන ක්‍රමය නිවැරැදි ව හඳුනාගත යුතු ය. එය කළ යුත්තේ ආණ්ඩු බලයට පත් වූ පසු මිස විපක්ෂයේ සිටිය දී නොවේ.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට තේරී පත් වූ පසු පාර්ලිමේන්තුවේ බලය ශක්තිමත් කරගැනීමට ඔහුට අවශ්‍ය විය. එය කිරීමෙන් පසු අර්ධ ජනාධිපති ක්‍රමය යටතේ ආණ්ඩුව සම්පූර්ණ වේ. වත්මන් ආණ්ඩුවේ බහුතරය නවකයෝ වෙති. එවැනි ආධුනිකයන් පිරිසක් සමග ආණ්ඩුකරණයේ දී ආණ්ඩුව මුහුණ දුන් අභියෝගය වූයේ ක්‍රමය වෙනස් කිරීමට පෙර ක්‍රමය හඳුනාගැනීම ය. මෙහිදී ජනතාව ඉවසිලිවන්ත වීම වැදගත් ය. එබැවින් අපේක්ෂා කළ වෙනස කිරීම වෙනුවෙන් ආණ්ඩුවට යම් කාලයක් දිය යුතු ය. ආණ්ඩුව සමාජය හමුවේ තැබූ අපේක්ෂා ඉටුවීම පමා වනවිට ජනතාව අතර අතෘප්තියක් ගොඩ නැගිණි. විවේචන ද එල්ල විය. කිසිදු මූල්‍ය වැය කිරීමකින් තොරව දේශපාලන සංස්කෘතියේ වෙනසක් කළ හැකිව තිබූ බව මගේ අදහස යි. පසුගිය ආණ්ඩු යටතේ ගොඩනැගුණු දේශපාලන සංස්කෘතියේ ඇතැම් අප්‍රසන්නතා වත්මන් ආණ්ඩුව වුව බැරෑරුම්ව තේරුම් ගෙන ඇති බවක් දිස් නොවේ. නිදසුනක් ලෙස අමාත්‍යවරයකු හෝ මන්ත්‍රීවරයකු මාධ්‍ය සාකච්ඡාවක් ලබා දෙනවිට ඒ වටා විශාල පිරිසක් සිටීම අදටත් දැකිය හැකි ය. ඒවා අවසන් කළ යුතුව තිබුණි.

ජනතාව ඇතැම් කාරණා සම්බන්ධයෙන් ප්‍රශ්න කරන විට හෝ විවේචනය කරන විට ඒවාට මුරණ්ඩු ස්වරූපයෙන් ප්‍රතිචාර දක්වනවා වෙනුවට වඩාත් ඉවසිලිවන්තව කටයුතු කළ යුතුව තිබුණි. එහෙත් එය ආණ්ඩුවේ බොහෝ මැති ඇමැතිවරුන්ගෙන් ඉටු නොවුණි. එබැවින් ජනතාවගෙන් යම් පිරිසකට ආණ්ඩුවේ මේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අසතුටක් ඇති වූ බව පැහැදිලි ය. එසේවුව ද අපි මුල් කාලයේ දී ඉවසිය යුතු වෙමු. 1947 සිට පූර්ණ වශයෙන් ආණ්ඩුකරණයට සම්බන්ධ නොවූ එහෙත් මුල්වරට ආණ්ඩුකරණයට ඇතුළත් වූ මේ පිරිසට ක්‍රමය නිවැරැදි ව හඳුනා ගැනීමට යම් කාලයක් දිය යුතු ය. ඇති කරන බවට පොරොන්දු වූ ක්‍රමයේ වෙනස සම්බන්ධයෙන් ජනතාව ප්‍රශ්න කරන විට එයට ඉවසිලිවන්තව ප්‍රතිචාර දැක්වීම ආණ්ඩුවේ වගකීමයි. ජනතාවගේ අදහස් සතුරු අදහස් ලෙස සලකන භාවිතයෙන් ආණ්ඩුව ඈත්විය යුතු ය.

කාලයක් තිස්සේ තමන් පීඩාවට පත් කළ ප්‍රශ්නවලට විසඳුම් ජනතාව අපේක්ෂා කරති. කෘෂිකර්ම අංශයේ දී වන සත්ව උවදුර ප්‍රධාන වේ. ජීවන වියදම පිළිබඳ ප්‍රශ්නයත් එසේ ය. මේවා ක්ෂණයෙන් විසඳනු ඇති බවට ජනතාව සිතන බවක් දිස් වේ. ජාතික ජන බලවේගයත් මේවා වහා විසඳිය හැකි ප්‍රශ්න හැටියට මැතිවරණ වේදිකාවල දී ජනතාවට ඇඟවීය. බලය ගත් සැණින් මේ ප්‍රශ්න විසඳිය හැකිය යන ජනතා අපේක්ෂාව තීව්‍ර වීමට ආණ්ඩුවේ ඒ පොරොන්දු ද බලපෑවේ ය. එබැවින් මෙහි සන්නිවේදනය පිළිබඳ ප්‍රශ්නයක් තිබිණි. ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව තමන් කරන සහ ඉදිරියේ දී කිරීමට අපේක්ෂා කරන දේවල් ගැන ජනතාවට පැහැදිලි කර ඒ සඳහා සාධාරණ කාලයක් ඉල්ලා සිටියේ නම් ජනතාව එය තේරුම් ගැනීමට ඉඩ තිබිණි. ආණ්ඩුවට සාධාරණ කාලයක් දිය යුතුය කියා ජනතාවත් ස්වයංව සිතිය යුතු ය. ආණ්ඩුව සහ ජනතාව අතර පැන නැගි සන්නිවේදනය පිළිබඳ ප්‍රශ්නය යම් පමණකට ආණ්ඩුවට අවාසිසහගත ආකාරයට බලපෑ බව පැහැදිලි ය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ආණ්ඩුව ජනතාවගෙන් ඈත් වෙමින් තිබෙන්නේය යනුවෙන් මතයක් ගොඩ නැගිණි. කිසිදු වැයකින් තොරව දේශපාලන සංස්කෘතියේ කළ හැකි වෙනස්කම් ආණ්ඩුව තේරුම් ගෙන ඒ අනුව කටයුතු කරමින් සිටින බවක් පෙනේ. අල්ලස් ගැනීම් වංචා දූෂණ හා රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධ ප්‍රශ්නයට ආණ්ඩුවේ සාධනීය මැදිහත්වීම එහි එක් අවස්ථාවකි. 1947 සිට මෙරට දේශපාලන සංස්කෘතියෙහි තහවුරු වෙමින් තිබූ ඒ මජර ස්වභාවය ක්‍රමයෙන් වෙනස් වෙමින් තිබේ. නීතියේ ආධිපත්‍ය ස්ථාපිත වෙමින් ඇති බවක් දැකිය හැකි ය. නීතිය සැමට සමානව ක්‍රියාත්මක වේය යන්න එහි අර්ථය යි. අපි එය එදිනෙදා අත්විඳිමින් සිටිමු. එය සාධනීය ලක්ෂණයකි. පසුගිය කාලයේ විවිධ වංචා දූෂණ හා මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ චෝදනාවලට ලක්වූ පිරිස්වලට එරෙහිව නීතිමය ක්‍රියා මර්ග ගැනීමත් සිදුවේ. එයත් රටේ නීතියේ ආධිපත්‍ය සම්බන්ධයෙන් ඉතා වැදගත් වර්ධනයකි. ජනතාව ඒවා ගැන පක්ෂ භේදයකින් තොරව සුබවාදීව බැලිය යුතු බව මගේ අදහස යි. ඊට අමතරව වත්කම් බැරකම් සම්බන්ධයෙන් ආණ්ඩුව ආදර්ශයක් සපයමින් සිටියි. ආණ්ඩුවේ ඇතැම් සාමාජිකයන්ගේ වත්කම් පිළිබඳව දැඩි විවේචන එල්ල වෙමින් ඇති බවක් ද හඳුනාගත හැකි ය. ඒ යටතේ ඇතැම් අය සැලකිය යුතු ධනයක් අත්කරගෙන තිබීම ගැන ද විවේචන එල්ල වේ. විවිධ අයට ඒ ආකාරයේ විවේචන කළ හැකිව තිබෙන්නේ ආණ්ඩුවේ සාමාජිකයන් ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශන ඉදිරිපත් කළ හෙයිනි.

වත්කම් බැරකම් ප්‍රකාශන කලට වේලාවට ඉදිරිපත් කිරීමට අදාළව නීතිමය පරිසරයක් ඇති කිරීමේ ගෞරවය හිමි විය යුත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවටය. අධිකරණ නිලධාරීන් ද ඇතුළුව සියලු රජයේ ඉහළ නිලධාරීන් තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශන ඉදිරිපත් කළ යුතු බවට වන නීතිය සම්මත කළේ පසුගිය රජය මගිනි. වත්මන් ආණ්ඩුව යම් ප්‍රමාණයකට හෝ තමන්ගේ වත්කම් හෙළිදරව් කර ඇත. එය ඉතා හොඳ තත්වයකි. මෙය ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතියේ අලුතින් ඇති වූ ප්‍රවණතාවක් හැටියට සැලකිය හැකි ය. එපරිදි ජනාධිපති ඇමැති මන්ත්‍රී සහ රාජ්‍ය සේවකයා නිසි වේලාවට වත්කම් බැරකම් ප්‍රකාශන බාර දීම මගින් තමන් නීතියට බැඳී සිටින බව ඔවුහු සමාජයට පෙන්වති. ආදර්ශයක් සපයති. එය ඉතාමත් යහපත් වර්ධනයකි.

ආර්ථිකමය කාර්යසාධනය සැලකුවහොත් බලය ලබා ගන්නාවිට පැවැති ආර්ථිකයෙහි විශාල වෙනසක් ඇති කිරීමට ආණ්ඩුව කටයුතු කර නැත. එහි අර්ථය නම් ජනතාව පීඩාවට ලක්වන අයුරින් ආර්ථිකය කළමනාකරණය කරමින් නොසිටින බව ය. ඇතැම් භාණ්ඩවල මිල උච්චාවචන සිදු වුව ද තවමත් සාධාරණ මිල ගණන් යටතේ ඉන්ධන විදුලිය ගෑස් ආදී අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව පවතී. එමෙන් ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් විශාල වෙනසකින් තොරව පවත්වා ගෙන යෑමට ද ආණ්ඩුවට හැකි වී තිබේ. තව ද 2025 අයවැය මගින් සාධනීය ආකාරයට රාජ්‍ය සේවක වැටුප් වැඩි කෙරිණි. මධ්‍යම අධිවේගී මාර්ගය ඇතුළු පසුගිය කාලයේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවා තිබූ ඇතැම් ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ගෙන ඇති තීරණය හොඳය. රැකියාවලට බඳවා ගැනීම ගැනත් අවධානය යොමු කර ඇත. සමස්තයක් ලෙස ගත්විට ගත වුණු වසරක කාලය ඇතුළත ජනතාවට ආර්ථිකමය වශයෙන් පීඩාවක් අත් කර දී නැති බව මගේ නිරීක්ෂණය යි.

එහෙත් කලබලයෙන් වාහන ආනයනයට ඉඩ දුන්නේ ද ඇයි ද යන්න පිළිබඳව සමාජයේ කුකුසක් ඇත. වසර 2028 වනවිට විදේශ ණය ගෙවීම නැවත ආරම්භ කළ යුතු බැවින් විදේශ සංචිත ඉහළ නංවා ගත යුතු ය. මේ සන්දර්භයේ වාහන ආනයනයට ඉඩ දීම ප්‍රශ්නකාරී විය හැකි ය. විශේෂයෙන්ම බලයට පත්වීමට පෙර ආණ්ඩුවේ ඇතැම් ප්‍රකාශකයන් කීවේ සෑම නිවැසියකුටම සාධාරණ මිල ගණන් යටතේ ගැළපෙන වාහනයක් ගත හැකි පරිසරයක් ඇති කරන බව ය. එය ඉටු නොවූ හෙයින් පහළ හා මධ්‍යම පන්තියේ පිරිස් අතර විශාල අසන්තෝෂයක් නිර්මාණය වී තිබේ. වාහන ආනයනයෙන් වාසි ලැබුවේ ධනපතියන් පිරිසකි. ඩොලර් සංචිත යම් ප්‍රමාණයකට පිරිහීමට ද මෙයින් බලපෑම් ඇති කළේ ය. මෙවැනි කාරණාවලදී දුරදිග නොබලා කටයුතු කරන ස්වභාවයක් පෙනේ.

ආණ්ඩුවට තව තිබෙන්නේ වසර හතරක කාලයකි. එය ඔවුන් සමාජය හමුවේ තැබූ ප්‍රතිඥා ඉටු කිරීමට ප්‍රමාණවත් කාලයකි. ලෝකයේ ආර්ථිකය හා දේශපාලනය සමග ප්‍රබල සබඳතා පවත්වන ඇමෙරිකාවේ ජනාධිපතිවරයකුට පවා හිමි වන්නේ වසර හතරක ධුර කාලයක් බව අප සිහිතබා ගත යුතු ය. ඉදිරි වසර හතරක කාලය නිවැරැදිව කළමනාකරණය කරගන්නේ කෙසේද යන්න ගැන ආණ්ඩුව කල්පනා කළ යුතු ය. කවර ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කළ යුතු ද යන්න පිළිබඳවත් පරික්ෂාකාරී විය යුතු ය. එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කළ යුතු වෙනස්කම් ගැන ආණ්ඩුවේ අවධානය යොමු වීම වැදගත් බව මම විශ්වාස කරමි. එහෙත් ඒ අරබයා ආණ්ඩුව විශාල තැකීමක් කරන බවක් නෙපෙනේ. අලුතින් සකස් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් රටේ තිබෙන සැබෑ ප්‍රශ්නවලට දිය හැකි විසඳුම් ගැන අවධානය යොමු විය යුතු ය.

සියලු ජනවර්ගවලට තමන් ශ්‍රී ලාංකිකයන් ලෙස සිතමින් පොදු අනන්‍යාතාවක් සහිතව කටයුතු කළ හැකි පරිසරයක් ඇති කළ යුතු ය. රටේ මෙතෙක් පැවැති පාලනය පිළිබඳව සුළු ජනවර්ග අතර තවමත් අතෘප්තිකර හැඟීමක් පවතී. ඊට තිත තැබිය යුතුම ය. නැතිනම් රටේ නැවතත් බෙදුම්වාදී ක්‍රියා ඇතිවීමට ඉඩ ඇත. මේ සියලු ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කළ හැකි පුළුල් ආණ්ඩුක්‍රම රාමුවක් සකස් කර ගත යුතු ය. දැනටමත් ඊට පමා වැඩි ය. ගෙවුණු වසරක කාලයේ දී ආණ්ඩුව එයට අවධානය යොමු නොකළේ ය. පවතින ක්‍රමය හොඳ යැයි ආණ්ඩුව සිතන්නේ ද කියන්නට මම නොදනිමි. ජනාධිපති ධුරය ඉදිරියේදීත් ජාතික ජන බලවේගය අතේ රැඳෙන බවට ආණ්ඩුවේ ඇතැම් අමාත්‍යවරුන් කරන ප්‍රකාශවලින් හැඟෙන්නේ ජනාධිපති ක්‍රමය තවදුරටත් පවත්වා ගෙන යෑම ආණ්ඩුවේ අභිලාෂය බව ය. මේ ආණ්ඩුව විධායක ජනාධිපති ක්‍රමය තියුණු විවේචනයට ලක් කළේ ය. එබැවින් ආණ්ඩුව මෙම ක්‍රමය වෙනස් කළ යුතුය.

(*** සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ)



අදහස් (2)

ආණ්ඩුව වෙනස හදුනාගෙනද?

Frencis Tuesday, 23 September 2025 01:36 PM

ජනාධිපතිතුමාට ලැබුණු කාලයෙන් තවත් 80% ක් එනම් තුනෙන් දෙකකට වැඩි කාලයක් තියෙනවා දරුවෙක් උපන්ගමන් ඇවිදින්නෙ නැහැනේ සාමාන්‍යයෙන් අවුරුදු සියයක් සිටින කෙනෙක් බැලුවොත් ලංකාවෙ නම් තවම පාසල් දරුවෙකුගෙ වයස ගත කරන්නෙ ඒ නිසා අවුරුදු 76 ක් මොනවත් නොවුනානම් තව ටිකක් ඉවසගෙන ඔහොමම යංකො

:       5       6

චතුරි Sunday, 28 September 2025 06:21 PM

පළමුව දනගන්න ඕන කාගේ වුවමනාවටද මෙහෙම ලියන්න හිතුනේ කියන එක. සාමාන්‍ය වැසියෝ නම් අනුර කුමාර ජානාධිපතිවරයාට ඉතාමත් ලෙන්ගතුයි.. ඔයා කියන හිතන තරම් දුර්වල රජයක් නෙමේ දැන් තියෙන්නේ... ඔබට වැඩිය අවංක, කාරුණික... ජනතාවගේ දුක හදුනන තරුණ නායක පිරිසක් රට බාරගෙන තියෙන්නේ. මේ ආන්ඩුවෙන් හොයා ගත්තා කියලා පළමු අවුරුද්ද පිරෙනකොට රට කලින් කරපු නායකයින් රෑනක් හිරගෙදර ගිය පළමු අවස්ථාව මෙයයි කියලා තමුන්ගේ උගත්කමට, අවන්කකම, නිහතමානීකම. මේ කිසිවක් නැහැ. තමුන් වගේ අය මේ අලුත් රජයට නොලැබුණු එකත් ලොකු දෙයක්.. ඡන්දය ඉල්ලා පැරදුණු කෙනෙක්ද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 769 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 335 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site