IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


අයවැය ඉලක්ක කෙබදුද?

එළැඹෙන නොවැම්බර් 7 වැනිදා ඉදිරිපත් කරන අයවැය ලේඛනය කුමන ස්වරූපයේ එකක් විය හැකි දැයි බැලිය යුත්තේ රටේ පවතින ආර්ථික පසුබිම සැලකිල්ලට ගනිමිනි. 2025 වසර සඳහා ඉදිරිපත් කළ අයවැයෙන් ජනතාව විශාල දේවල් බලාපොරොත්තු නොවූයේ එය වත්මන් රජයේ පළමු අයවැය වූ බැවිනි.

එසේම එයින් ආර්ථික සැලැස්මක් ඉදිරිපත් වූයේ ද නැත. එහෙත් ලබන වසර වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන අයවැය ලේඛනයෙන් ආර්ථික සැලැස්මක් රට හමුවේ තැබිය යුතු ය. රටේ ආර්ථිකය කවර දිශාවට ගමන් කරන්නේ ද යන්න පෙන්වන ශක්තිමත් පදනමක් මෙවර අයවැයේ ඇතුළත් විය යුතු ය. අයවැය ඉදිරිපත් කිරීමට සිදු වෙන්නේ නොයෙක් සීමාවලට යටත්ව ය.

ශ්‍රී ලංකාව තවමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන ක්‍රියාත්මක කරමින් සිටින්නේ ය යන්න අමතක නොකළ යුතු ය. ඉදිරි වසර කිහිපයේ දී ළඟා කර ගත යුතු ඉලක්ක කිහිපයක් එහි ඇතුළත් ය. එම ඉලක්ක සෘජුවම අයවැයත් සමග සම්බන්ධ ඒවාය. බලයට පත්වීමට පෙර ආණ්ඩුව ලබා දුන් මැතිවරණ පොරොන්දු පළමු අයවැයෙන් නොවුණත් මෙවර අයවැයෙන් යම් පමණකට හෝ ඉටු කරතියි මහ ජනතාව බලාපොරොත්තු වෙති භාණ්ඩ මිල පහත හෙළීම, බදු අඩු කිරීම, වැටුප් වැඩි කිරීම, රැකියා සුලබ කිරීම, දූෂණ වංචා අවම කිරීම, රාජ්‍ය අංශයේ ඵලදායීතාව ඉහළ නැංවීම සහ සෞඛ්‍ය හා අධ්‍යාපන සේවා වෙනුවෙන් වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කිරීම යනාදිය ඒ අතර ප්‍රධාන ය. මේවා ක්‍රියාවට නැංවීම හෝ ඊට අවැසි පදනමක් දැමීම ජනතාවගේ එක් අයවැය අපේක්ෂාවක් මෙන් ම එය අයවැය පිළියෙල කිරීමට අදාළව රජයට ඇති එක් සීමාවකි.

වසර 2028 සිට විදේශ ණය ගෙවීම ආරම්භ කිරීමට සිදු වේ. එයත් සිහි තබා ගැනීම වැදගත් ය. එමෙන් ම අපේ පාලනයෙන් බැහැර ගෝලීය දේශපාලන සංසිද්ධිවල බලපෑම ද රටේ ආර්ථිකය විෂයයෙහිලා අදාළ බව කිව යුතු ය. ඇමෙරිකාවේ නව තීරු බදු ප්‍රතිපත්තිය, රුසියා-යුක්රේන යුද්ධය සහ මැදපෙරදිග ගැටුම් ජාත්‍යන්තර වෙළෙඳාමට සෘජු බලපෑම් එල්ල කරයි. 2026 වසර සඳහා ඉදිරිපත් කරනු ලබන අයවැයෙහි හැඩය ගැන කතා කිරීමේ දී මේ පසුබිමත් විචාරය කළ යුතු ය.

නිෂ්පාදන ආර්ථිකයකට පදනම දැමිය යුත්තේත් අයවැයෙනි. 2024 අංක 45 දරණ ආර්ථික පරිවර්තන පනත ප්‍රකාරව ඉදිරි වසර කිහිපයේ දී අත්කර ගත යුතු ආර්ථික ඉලක්ක ගණනාවක් නීතිගත කර තිබේ. මෙවර අයවැය සකස් කිරීමේ දී ඒවා කෙරෙහිත් සැලකිලිමත් වීම වැදගත් ය. 2027 වනවිට සියයට 5 ක ආර්ථික වර්ධන වේගයක් අත්කර ගැනීම එක් ඉලක්කයකි. පවත්නා තත්වය හමුවේ මේ වසරේ ආර්ථික වර්ධන වේගය සියයට 3 ක් වනු ඇති බවට පුරෝකථනය කර තිබේ. අයි.එම්.එෆ්. ණය වැඩසටහනෙහි අන්තර්ගත එක් එකඟතාවක් වන්නේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15 දක්වා වැඩි කරගැනීම ය. බොහෝවිට මෙම වසරේ දී අපට එම ඉලක්කය ආසන්නයට ළඟා වීමට හැකි වේ. ඊට හේතුව වාහන ආනයනය නැවත ආරම්භ කිරීමත් සමග ආනයන බදු සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වූ නිසා ය. එසේ වුව ද ඉදිරියටත් මේ තත්වය පවත්වා ගෙන යා හැකි ද යන්න අවිනිශ්චිත ය.

වසර 2025 දී අපනයන ආදායම් සියයට 25 දක්වාත් 2030 වනවිට සියයට 40 දක්වාත් ඉහළ නංවාගත යුතු ය. එසේ ම සෘජු විදේශ ආයෝජන දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 5 ක් විය යුතුය යන්න තවත් අයි.එම්.එෆ්. එකඟතාවකි. ප්‍රාථමික අතිරික්තය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2 ක් විය යුතුය යන්න තවත් එවැනි එකඟතාවක් වන අතර එය අයවැයට සෘජුව සම්බන්ධ එකක් ද වේ. මේ සියලු‍ කාරණා අයවැය සකස් කිරීමේ දී අවධානයට ගැනීමට සිදු වේ. මෙම සීමා හා එකඟතාවලට අනුගතව අයවැය සැකසීමත් ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමත් අභියෝගයක්ය යන්න මගේ අදහස යි.

ආර්ථික ඉලක්ක හා එකඟතාවලට ළඟා වීමට නම් නිෂ්පාදන ආර්ථිකයක් ඇති කළ යුතුම ය. වත්මන් ආණ්ඩුවේ මංගල අයවැයෙන් ඊට අවශ්‍ය පදනමක් දැමුණේ නැත. එහෙත් මෙවර අයවැයෙන් ඒ සඳහා පදනමක් නිර්මාණය නොකිරීම නිදහසට කාරණයක් නොවන බව අවධාරණය කළ යුතු ය. නිෂ්පාදන ආර්ථිකයකට පදනමක් නොදැමුවහොත් යළිත් ආර්ථිකයේ අර්බුදයක් හටගැනීමට වැඩි ඉඩක් තිබේ. ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන සහනාධාර අයවැය ලේඛන සැකසීම කාලයක් පුරා සිදු වූ බව අපි දනිමු. එමෙන් ම ඉදිරිපත් කළ බොහෝ සමාජ ආරක්ෂණ වැඩසටහන් දේශපාලනීකරණය වූ ඒවා ය. මෙවර අයවැයේ දී සහනාධාර මානසිකත්වයෙන් මිදීමට නොහැකි වුවහොත් මේ ආර්ථික ප්‍රපාතයෙන් අපට ගොඩ ඒමට නොහැකි ය.

අයවැයක මූලික අපේක්ෂාව මිනිසුන්ට සහනාධාර දීම හෝ භාණ්ඩ මිල අඩුකිරීම හෝ නොවේ. සමාජයේ සහනාධාර ලැබිය යුතු පිරිසක් සිටින බව සැබෑ ය. එවැනි පාර්ශ්ව වෙනුවෙන් සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ලෝක බැංකුවත් අවධාරණය කරයි. අවාසනාවකට මෙරට ක්‍රියාත්මක එවැනි වැඩසටහන්වලින් ප්‍රතිලාභ ලබන බහුතරය ඒ සඳහා සුදුසුකම් ලැබූවෝ නොවෙති. එබැවින් සහනාධාර ලැබිය යුතු පිරිස් ඉලක්ක කරගෙන සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද මෙවර අයවැයෙන් අවධානය යොමු කිරීම වැදගත් ය.

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීමක් සිදු කරන බව ජනාධිපතිවරයා කීවේ ය. මා නිතරම පවසන්නේ වැටුප් වැඩි කිරීමෙන් සිදුවන්නේ උද්ධමනයට අතවැනීමක් බව ය. රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කළ ද පොදුවේ ජනතාවගේ වැටුප් වැඩිවන්නේ නැත. වැටුප් වැඩිකිරීම විසඳුමක් නොවේ. විය යුත්තේ ජනතාවගේ ආදායම් ඉහළ යෑමය. ඒ අරබයා ආර්ථිකය වර්ධනය විය යුතු ය. එසේ වන්නට නම් නිෂ්පාදන සේවා ඇතුළු ආර්ථිකයේ සෑම අංශයක් ම දියුණු කිරීම වැදගත් වේ. ඒ ඔස්සේ නව ආදායම් මාර්ග බිහිවිය යුතු ය. අයි.එම්.එෆ්. ණය වැඩසටහනෙහි එන විරැකියා අනුපාතය සියයට 5 දක්වා අඩු කරගැනීම නමැති එකඟතාව සම්පූර්ණ කිරීමට එයින් හැකියාව ලැබේ. ශ්‍රී ලංකාවේ කාන්තා ශ්‍රම සහභාගීත්වය අවම මට්ටමක පවතී. එය ඉහළ නංවා ගැනීම වෙනුවෙන් සකස් කළ ඉලක්ක ද තිබේ. මේවා සපුරනු වස් ඉලක්ක ගත වැඩසටහන් අවැසි ය.

නිෂ්පාදන ආර්ථිකයකට ගමන් කිරීම මගින් රටේ ආර්ථිකය මුහුණ දෙන බොහෝ අර්බුද ඉක්මවා යෑමට හැකියාව ලැබෙන බව පැහැදිලි ය. නිෂ්පාදන ආර්ථිකයකට බලපාන කාරණා කිහිපයක් ඇත. ආර්ථිකයේ එන කෘෂිකර්ම, කර්මාන්ත සහ සේවා යන අංශත්‍රයෙන් කෘෂිකාර්මික අංශයේ ඵලදායීතාව ඉහළ නංවා ගැනීමට අදාළ විභවතාව අප සතු ය. දියුණු කෘෂි අංශයක් තිබෙන රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ඵලදායීතාව පහළ මට්ටමක පවතී. නිෂ්පාදන ආර්ථිකයක් කරා යන ගමනේ දී කෘෂි අංශයේ ඵලදායීතාව වැඩි කිරීම වැදගත් ය. ඒ යටතේ නව තාක්ෂණයට ප්‍රවිෂ්ට වීමට ගොවීන්ට හැකි විය යුතු ය. වී වගාවට අමතරව සෙසු සුළු අපනයන හා අතුරු භෝග අංශ පැවැතිය ද ඒවා නොසලකා හැර ඇති බවක් දිස් වේ. එම අංශවලට නව තාක්ෂණය හඳුන්වාදීමට කටයුතු කරන බවක් ද නොපෙනේ. පසුඅස්වනු තාක්ෂණයට අදාළ වැඩපිළිවෙළක් ද නැත. මෙම සන්දර්භයේ මෙවර අයවැයෙන් කෘෂි අංශයේ උන්නතිය වෙනුවෙන් වැඩසටහනක් ඉදිරිපත් කළ යුතුය යන මතය මම දරමි. තේ අපනයන අංශයෙන් ශ්‍රී ලංකාව පළමු තැන සිටිය ද මේ වනවිට සිව්වැනි ස්ථානය දක්වා පල්ලම් බැස ඇත. අපට සාපේක්ෂව තේ නිෂ්පාදනය කරන අනෙත් රටවල් වේගවත් වර්ධනයක් අත්කර ගෙන ඇත. පොල් ආනයනය කරන තැනට රට පත්ව ඇත. රබර් වගාවත් පසුගාමී තත්වයක පවතී. කෘෂි අංශය දියුණු කිරීමට නම් අපනයන කෘෂි අංශය ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතු ය.

කර්මාන්ත අංශය සැලකීමේ දී පසුගිය කාලයේ දී දේශීය ව්‍යවසායකයන්ට බරපතළ අභියෝග රැසකට මුහුණ දීමට සිදු විය. රාජ්‍ය ආදායම් ඉහළ නංවාගැනීම සඳහා සිදු කරන ලද බදු අනුපාත වැඩිකිරීමෙන් ද ඔවුන්ට අහිතකර බලපෑම් ඇති විය. එහෙයින් බදු අය කිරීම රටේ ආර්ථික කටයුතුවලට අවහිරයක් නොවන පරිදි කිරීමට රජය වගබලා ගත යුතු ය. දේශීය ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර කාර්යක්ෂමව හා ආරක්ෂාකාරීව කරගෙන යෑමට අවැසි පරිසරය නිර්මාණය කිරීමත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමත් වැදගත් වේ. ව්‍යාපාර ආරම්භ කිරීමට සහ පවත්වාගෙන යෑමට අදාළව රටේ පවතින දැඩි නීති මගින් දේශීය ව්‍යාපාර පමණක් නොව විදේශීය ආයෝජන ද අධෛර්යවත් වේ. එබැවින් එම නීති සුදුසු පරිදි වෙනස් කිරීමට ද කාලය පැමිණ ඇත.

විදේශ විනිමය උත්පාදනයේ දී විදේශ ප්‍රේෂණ සහ සංචාරක ඉපැයීම් මත පමණක් රඳා පැවතීම ඉතාම භයානක ය. පාස්කු දා ත්‍රස්ත ප්‍රහාරය හමුවේ සංචාරක පැමිණීම් ශූන්‍ය වූ අයුරු අපට මතක ය. ස්ථායී ආර්ථිකයක් ගොඩනැගීමට නම් නිෂ්පාදන ආර්ථිකයකට යා යුතුම ය. 2028 දී විදේශ ණය ගෙවීමට සිදුවන හෙයින් සංචිත වර්ධනය කරගැනීමට තවත් තිබෙන්නේ වසර දෙකක කාලයක් පමණි. වාහන ආනයනය ආරම්භ කළ බැවින් මේ වෙනවිට යම් ප්‍රමාණයකට සංචිත ද පහළ ගොස් ඇත. මේ පසුබිමේ ඉදිරි වසර දෙකක කාලය නිවැරැදිව කළමනාකරණය කිරීමට අපොහොසත් වුවහොත් ශ්‍රී ලංකාවට නැවත වතාවක් ණය පැහැර හැරීමකට යාමට සිදුවෙතැයි ඇතැම්හු අනතුරු අඟවති.

විදේශ සෘජු ආයෝජන ආකර්ෂණය කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කිරීම වැදගත් ය. ඊට අදාළ රාජ්‍ය යාන්ත්‍රණය තවමත් පැරැණි ආකාරයටම ක්‍රියාත්මක වනවා මිස ඵලදායී ආකාරයට වෙනස් වී ඇති බවක් නොපෙනේ. මේ ගැනත් රජයේ අවධානය යොමු විය යුතු ය. එමෙන් ම විදේශ ණය මූලාශ්‍රවලින් අයවැය මූල්‍යකරණය කර ගැනීමට ඇති ඉඩ ප්‍රස්ථා අවම බැවින් අයැවය හිඟය කළමනාකරණය කළ හැකි මට්ටමකින් පවත්වා ගෙන යෑමට සිදු වේ. ඇමෙරිකාවත් සමග කරන වෙළෙඳ ගනුදෙනුවලින් ශ්‍රී ලංකාවට විශාල වාසියක් හිමි වුව ද එරටේ නව තීරු බදු ප්‍රතිපත්තිය හමුවේ ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් ඇතුළු ඇතැම් භාණ්ඩ ඇමෙරිකාවෙන් මිල දී ගැනීමට සිදු වේ. ඒ යටතේ බොර තෙල් මිල දී ගැනීමට ශ්‍රී ලංකාව දැනටමත් අනුමතය පළ කර ඇති අතර ඒ අරබයා ඉහළ ප්‍රවාහන ගාස්තු ඇතුළු විශාල පිරිවැයක් දැරීමට සිදු වේ. ගණන් බලා ඇති ආකාරයට ඒ සඳහා වසරකට ඩොලර් මිලියන 700 ත් 800 ත් අතර මුදලක් වැය වෙතැයි අපේක්ෂා කෙරේ. ඒත් සමගම මෙතෙක් ඇමෙරිකාව සමග කළ වෙළෙඳ ගනුදෙනුවලින් අපේ රටට තිබූ වාසිය අඩුවෙයි. අනාගතයේ දී මුහුණදීමට සිදුවෙන මෙවැනි අභියෝග ගැනත් අයවැයේ දී අවධානය යොමු කළ යුතු ය.

(*** සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ)



අදහස් (0)

අයවැය ඉලක්ක කෙබදුද?

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27338 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18176 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10879 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 634 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 191 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 845 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site