IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


අධ්‍යාපනයේ පැලැස්තර විසදුම්

ශ්‍රී ලංකාවේ “විනාශකාරි බදු ප්‍රතිපත්ති නිසා වර්ධන වේගයට වඩා බෙහෙවින් අඩු මට්ටමක අධ්‍යාපන වියදම් පවත්වාගෙන තිබීමෙන්, ජාතික අධ්‍යාපනයෙහි ලෝකයේ පෙර ගමන්කරුවකු වූ ශ්‍රී ලංකාව, පසුපසින් ඇදී එන්නකු බවට පත්ව තිබෙනවා” යැයි “මානව හිමිකම් නිරීක්ෂකයෝ” (Human Rights Watchers - HRW) සංවිධානයේ ආර්ථික යුක්තිය පිළිබඳ ජ්‍යෙෂ්ඨ පර් යේෂක සාරා සාඩූන් කියා තිබිණ.

ඇය එලෙස කියා තිබුණේ “බදු අතහැර දැමීම්, මිරිකෙන පාසල් අඩු බදු අය කිරීම් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට හේතු වීම සහ අධ්‍යාපන දියුණුව අත හැරීම” නම් පිටු 101ක වාර්තාව ඉකුත් ඔක්තෝබර් 15 වැනිදා එළිදැක්වීම සම්බන්ධයෙන් කලින් දින ඔවුන්ගේ නිල වෙබ් අඩවියෙහි පළ කළ නිවේදනයෙහිය. විශාල තොරතුරු ප්‍රමාණයක් අඩංගු එම වාර්තාව මූලික හා ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ මානව හිමිකම් සහතික කිරීමේදී ආදායම් එකතු කිරීමට ආණ්ඩුව සතු ශක්‍යතාව වෙතය. වාර්ෂික අයවැයෙන් මුදල් වෙන් කිරීමේදී, අධ්‍යාපනය දරුවකුගේ මූලික අයිතියක් ලෙස ඔවුන් අවධාරණය කරන්නේ ඒ අනුවය.

ඊට අදාළව ඔවුන් දක්වන ඇතැම් කාරණා එතරම් තර්කානුකූල නොවුණත් ආණ්ඩුවේ ආදායම් හා බදු අය කිරීම් ගැන ඇති පැහැදිලි කිරීම් වැදගත්ය. විදේශීය ඍජු ආයෝජන මත අපනයන නිෂ්පාදන දියුණු කිරීමට යැයි 1978 සිට ජයවර්ධන ආණ්ඩුව හැම අවුරුද්දකම විවිධාකාර බදු සහන ව්‍යාපාරිකයන්ට ලබා දුන් බවත්, අනතුරුව බලයට පැමිණි හැම ආණ්ඩුවක්ම එය නොවෙනස්ව පවත්වාගෙන පැමිණි බවත් අපි දනිමු. අප එතරම් අවධානයක් යොමු නොකළ කාරණාව වූයේ, ලබා දුන් ආර්ථික සහන හා වරප්‍රසාදවලට සරිලන ආර්ථික ප්‍රතිලාභයක් අප ලැබුවේ ද යන්න වෙතය.

ඒ සම්බන්ධව HRW වාර්තාවේ දක්වන ආකාරයට, “පාරදෘශ්‍යභාවයක් නොවුණු හෙයින් මෙම දිරි ගැන්වීම් සතු ඓතිහාසික වැය වීම් ගණන් හැදීම, පහසු නැත. එනමුත් 1990 ගණන් දක්වා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තා අනුව, දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 2ක පමණ ආදායමක් රජයට අහිමිව ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියක් අනුව, 2022 වසරෙහි ලබා දුන් සියලු‍ ආකාරයේ බදු ඉවත් කිරීම් සම්බන්ධ සවිස්තරාත්මක විගණනයක් 2024 දී ආණ්ඩුව ප්‍රකාශයට පත් කළේය. ඉන් හෙළි වූයේ රුපියල් බිලියන 978ක් (ඇ.ඩො. බිලියන 2.7) ආණ්ඩුවට අහිමි වූ බවය. එය එම වසරේ එකතු කෙරුණු සමස්ත බදු ආදායමෙන් සියයට 56කි. ඒ වගේම අධ්‍යාපන වැය කිරීම් මෙන් තුන් ගුණයකට සමානය.” (සම්පිණ්ඩනය/ පරිච්ඡේදය - හිමිකම් ඉටු කිරීමට බදු ආදායම ප්‍රමාණවත් නොවන අතර එය පසුබෑමකි.)

ඔවුන්ගේ ඒ සම්බන්ධ නිරීක්ෂණයක් වන්නේ, “...... අහිමි වන ආදායම හමුවේ මානව හිමිකම් ශක්තිමත් කිරීමේ ආණ්ඩුවක හැකියාව දුර්වල විය හැකිය. ඒ සමග අඩු ආදායම්ලාභින් දැරිය යුතු බදු පංගුව ඉහළ දැමීමේ අවදානමක් ද ඇති වන්නේය”. (වාර්තාවෙහි එම පරිච්ඡේදය)

බදු ආදායම් අහිමි වීම සම්බන්ධව ඔවුහු තවත් කතාවක් කියති. “සත්‍ය නම්, දළ ජාතික නිෂ්පාදනයට අනුපාතිකව බදු ආදායම් බරපතළ ලෙස අඩු වීම, දශක ගණනාවක් පුරා නිර්මාණය වූවකි. එය 1977 දී ශ්‍රී ලංකාව සිය ආර්ථිකය විවෘත කිරීමේ තීන්දුව සමගින් ආරම්භ කළ වෙනස දක්වා දිවෙන්නකි.” ඔවුන්ගේ වාර්තාවෙහි සඳහන් වන අයුරු, මේ වෙනස 1977 දී සිදු කෙරෙන තෙක්, දළ ජාතික නිෂ්පාදනයට අනුපාතිකව බදු ආදායම් සියයට 20ත් 25ත් අතර පැවැතිණි. එය 2015-2018 වන විට සියයට 10ත් 12ත් අතර රැඳී තිබිණ. බදු ආදායම් එලෙසින් පහත වැටීමට හේතුව, ආයෝජන ගෙන්වා ගැනීමට බදු අය කිරීම් අතහැරීම පමණක් නොවේ. රජයට ආදායම් එකතු කරන රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව හා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පසුගිය කාලයේ අපේක්ෂිත වාර්ෂික ආදායම් එකතු කර නැත. මේ ආයතන මගින් රජයට උපයා දිය යුතු වාර්ෂික ආදායමෙන් උපයා දෙනු ලබන්නේ සියයට 80ටත් වඩා අඩු ආදායමකි.

විවෘත වෙළෙඳපොළ ආර්ථිකයෙහි අවුරුදු 40ක් පුරා දූෂණය වූ, අකාර්යක්ෂම වූ, නාස්තිකාර රාජ්‍ය යාන්ත්‍රණයෙහි දූෂණය අවම කරගැනීම ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද අදහස් දක්වා ඇතත් රාජ්‍ය ආයතන කිහිපයක් ප්‍රතිසංවිධානය කර දූෂණය, නාස්තිය මැඬලන්නට නොහැකි බැව්, සාමාන්‍ය දැනුමකි. ඊට පිළියම වන්නේ අතිශය බරපතළ දුර දිග යන රාජ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමය.

ආදායම් පහත වැටීමට දූෂණය ද හේතු වී ඇති බැව් සාකච්ඡා නොකර, බදු අය කිරීම් අතහැරීම මානව හිමිකම් පැත්තෙන් පාඩුවක් අවාසියක් යැයි කීම, දුරස්ථ කතාවකි. එවැනි බදු සහන මගින් අපට ආකර්ෂණය කරගත හැකි වූ ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ගෙන් අපගේ ආර්ථික වර්ධනයට වැදගත් දායකත්වයක් නොලැබුණි. එහෙත් ආදායම් ලබන්නට බදු සහන අහෝසි කළහොත් ඔවුන් එන්නේ නැත. HRW වාර්තාවේ දක්වන ඇතැම් කාරණා තර්කානුකූල නොවේ යැයි කීවේ එබැවිනි. මේ විවෘත වෙළෙඳපොළ ආර්ථිකයෙහි රටේ සංවර්ධනය වෙනුවෙන් අපට අවශ්‍ය විදේශ විනිමය උපයා ගැනීමටත් සාධාරණ අයුරින් බදු අය කිරීමටත් නොහැකි බව යථාර්ථයකි. එනිසා මේ විවෘත වෙළෙඳපොළ ආර්ථිකයෙහි මානව හිමිකම් ශක්තිමත් කළ නොහැකිය.

ඊළඟට ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන ඉහළ දැමීමේ යෝජනාවය. එය ජනප්‍රිය කතාවකි. ඔවුන්ගේ වාර්තාවට අනුව, දරුවන්ගේ අධ්‍යාපන අයිතියට ඇති බාධාවලින් ප්‍රමුඛ බාධාවක් වන්නේ ජාතික අධ්‍යාපනයට ප්‍රමාණවත් මුදලක් වෙන් නොකිරීමය. එහෙත් ප්‍රතිසංස්කරණ කිසිත් නැති මුදල් වැඩි කිරීම අතාර්කික පිවිසුමකි.

ඉකුත් 15 වැනිදා එළිදැක්වූ HRW වාර්තාවට අනුව, 1955 සිට 1970 දක්වා කාලයේ අධ්‍යාපනය සඳහා හැම ආණ්ඩුවක්ම රජයේ වියදමින් සියයට 15ක් නැති නම් දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 3-5 දක්වා වෙන් කර තිබිණ. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ ගුණාත්මක තත්වය ඉතා ඉහළ වූයේ එලෙසින් වැඩි මුදල් වෙන් කළ නිසා යැයි ඔවුහු කියති. රටවල් 59ක කෙරුණ සමීක්ෂණයක් හුවා දක්වමින් “නිදසුනක් ලෙස, 1946 පාසල් යාමේ ප්‍රතිශතය වූ සියයට 41, 1971 දී සියයට 86 දක්වා දෙගුණයටත් වඩා වැඩි විය. එය දකුණු ආසියාවේ සියයට 57ක් වූ අතර, ලෝකයේ දුප්පත් රටවල්වල සියයට 37කි” යැයි ඔවුහු සඳහන් කරති.

එහි වැඩිදුරටත් සඳහන් වන අයුරු, 2022 වන විට අධ්‍යාපනයට මුදල් වෙන් කිරීම, රජයේ වියදමින් සියයට 8.2ක් වූ අතර, 2020 දී එය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 2ක් පමණ විය. ඔවුන්ගේ තර්කයට අනුව, අධ්‍යාපනය සඳහා වියදම් කෙරෙන මුදල් බරපතළ ලෙස අඩු කර ඇති හෙයින් 1971 දී සියයට 86ක් වූ පාසල් යන ළමා ප්‍රතිශතය 2020 දශකයේදී පහත වැටිය යුතුව තිබිණ. එහෙත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ “ජාතික මානව සම්පත් සංවර්ධන කවුන්සිලයේ” 2023 දත්ත අනුව, පාසල් යාමේ වයස සම්පූර්ණ වූ ළමයින්ගෙන් සියයට 95.9ක් 2022 දී පාසල් ගොස් තිබිණ. පාසල් වැසීම ගැන තිබෙන කතා අතරම, 1972 තිබූ රජයේ පාසල් 9,414 මේ වන විට පාසල් 10,134ක්ව ඇත.

ඉන් පෙන්වන්නේ අධ්‍යාපන වර්ධනය සදහා HRW සංවිධානය කියන අයුරු මුදල් ප්‍රතිපාදන එකම සාධකය නොවන බවය. මා එසේ කීවත් ඔවුන්ගේ නුරුස්නාව වන්නේ අධ්‍යාපනයට මුදල් වෙන් කිරීමේදී ඔවුන් සම්මත ජාත්‍යන්තර අවමය ලෙස අපේක්ෂා කරන සියයට 6ක ප්‍රතිපාදන වත්මන් මාලිමා ආණ්ඩුව ද වෙන් කර නොතිබීමය. “2024 සමග ගත් විට, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශ සඳහා 2025 අයවැයෙන් වෙන් කර ඇත්තේ 2024ට වඩා සියයට 3.5ක් වැඩි ප්‍රතිපාදනයක් පමණි. ඉදිරි වසර දෙක සඳහා යෝජනා කෙරෙන්නේ සියයට 10ක වැඩි කිරීමකි. එය පොරොන්දු වූ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 6ක වෙන් කිරීමක් නොවන්නේය” යනුවෙන් ඔවුහු කියති.

අධ්‍යාපන දියුණුව සඳහා ඔවුන්ගේ අත ගැසීමේ බරපතළ අවුල ඇත්තේ එතැනය. අපගේ අධ්‍යාපනය බිඳ වැටීමට වෙනත් හේතු ගණනාවක් ඇත. මූලිකම හේතුව, මේ විවෘත වෙළෙඳපොළ ආර්ථිකයෙහි ජාතික අධ්‍යාපනය සිය පරම වගකීමක් යැයි ආණ්ඩු භාර නොගැනීමය. ඒ සමාජ වගකීම අතහැර, ලාභ ලබන පෞද්ගලික ව්‍යාපාර ලෙස විධිමත් අධ්‍යාපනික ආයතන පවත්වා ගැනීමට ජාවාරම්කාර ආයෝජකයන්ට ඉඩ දී ඇත. ජාවාරම්කාර ආයෝජකයන් රජයේ නියාමනයකට යටත් වන්නට සූදානම් නොවන නිසා, 80 දශකයෙන් ආරම්භ වූ ව්‍යාපාරික අධ්‍යාපන ආයතන, සාම්ප්‍රදායික පෞද්ගලික පාසල් මෙන් ජාතික අධ්‍යාපන පද්ධතියට අයත් නැත.

 

ආණ්ඩු සිය සමාජ වගකීම් අතහැරීමේ අනෙක් ප්‍රතිඵලය වන්නේ වෛද්‍යවරුන්ට හා අතුරු සෞඛ්‍ය සේවාවලට සිය වෘත්තීය සේවය පෞද්ගලිකව මුදලට කිරීමට ඉඩ දීමෙන් රෝහල් පද්ධතියෙහි ගුණාත්මක හා වෘත්තීය තත්වය බාල්දු වූ අයුරු, පෞද්ගලික අධ්‍යාපනයට ඉඩ තැබීමෙන් පාසල් අධ්‍යාපනයේ ද ගුණාත්මක හා වෘත්තීය තත්වය බාල්දු වීමය. ඉන් ඇති වූ අඩුව පිරවීමට ආරම්භයේදී පාසල් ගුරුවරුන් අමතර පෞද්ගලික පන්ති පැවැත්වූ අතර, පාසල් අධ්‍යාපනය කාලයත් සමග ශීඝ්‍රයෙන් පිරිහෙන විට, අමතර පෞද්ගලික පන්ති පැවැත්වීම ද සාර්ථක ලාභදායි ව්‍යාපාරයක් ලෙස තහවුරු විය. දරුවන්ගේ අධ්‍යාපන අයිතිය නිල වශයෙන් අහෝසි නොකෙරුණත් පෞද්ගලීකරණය සමග, අධ්‍යාපන අයිතියේ අනිවාර්ය ලක්ෂණයක් විය යුතු “සමාන අවස්ථා සමග වන සමාන පහසුකම්” මවුපියන්ගේ ආර්ථික ශක්තියට අනුවත් අධ්‍යාපනය තම පරම වගකීමක් බැව් ආණ්ඩුව නොසැලකීමත් සමග අහෝසිව ඇත.

එනිසා, HRW සංවිධානය සහ ඔවුන්ගේ ආර්ථික යුක්තිය පිළිබඳ ජ්‍යෙෂ්ඨ පර්යේෂක සාරා සාඩූන් කියන ආකාරයට සියයට 6ක ප්‍රතිපාදන ලබා දීමෙන් මේ රෝග සුව වන්නේ නැත. ඒ වෙනුවෙන් ඔවුන් ශ්‍රී ලංකා ආණ්ඩුවට යොජනා කරන, “ජාත්‍යන්තර සම්මත අනුව අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 4-6ක් සහ සෞඛ්‍යයට සියයට 5ක් වෙන් කිරීම, පාසල් යටිතල පහසුකම් හා උපකරණ වෙනුවෙන් ප්‍රමාණවත් මුදල් වෙන් කිරීම, අනෙකුන් සමග තරගකාරිව පැවැතීමට ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම සලකා බැලීම, අවම තරමින් රජයේ පූර්ව ප්‍රාථමික හා ප්‍රාථමික පාසල්වල සියලු‍ අය කිරීම් නීතියෙන් හා ප්‍රායෝගිකව අහෝසි කිරීම” වැනි සංශෝධන 9කින් මේ අධ්‍යාපනය කෙටි කාලීනව හෝ ගොඩ දැමිය නොහැකිය.

මේ රෝග සුව කරගන්නට කලින් ආණ්ඩුවල යෝජනා වූ අණ්ඩවලට වඩා ලොකු අණ්ඩ දමන්නට මේ ආණ්ඩුවේ අධ්‍යාපන ඇමැතිනිය සහ ආණ්ඩුවේ ප්‍රසාදය දිනා ගැනීමට කතා කරන ලොකු නිලධාරින් ගෙනෙන යෝජනා ද වැඩේ තව අවුල් කිරීමක් වනු ඇත. මේ රෝග සුව කරගැනීමට අධ්‍යාපනයෙහි ද සුසමාදර්ශි වෙනසකට යා යුතුව ඇත. එය සියලු‍ පාර්ශ්ව හවුල් කරගන්නා දියුණු ප්‍රජාතන්ත්‍රවාදි කතිකා ඔස්සේ පැමිණිය යුතු එකඟතා අනුව සම්පාදනය කරගත යුතු දුර දිග යන, අවම වශයෙන් අවුරුදු 20ට වලංගු ප්‍රතිසංස්කරණයක් විය යුතුය. ඛේදවාචකය වී ඇත්තේ, මේ ආණ්ඩුව ද පෙර ආණ්ඩු මෙන්ම, සියල්ල තමන්ගේ බුද්ධි මට්ටමට ගැළපෙන ලෙස අධ්‍යාපනය හදන්නට යෑමෙහිය.

 

(***)

කුසල් පෙරේරා



අදහස් (0)

අධ්‍යාපනයේ පැලැස්තර විසදුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1277 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1229 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 446 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site