අග්‍රාමාත්‍යවරයා පසුගියදා කළ ප්‍රකාශයෙන් රටේ පවතින ආර්ථික අර්බුදය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුවුවද එය අර්ධ විස්තර කථනයකි. ලංකාවේ ප්‍රධාන වශයෙන් තිබෙන්නේ විදේශ විනිමය හිඟයකි. එම හිඟයත් සමග විදේශ ණය ගෙවිය නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ. ගෙවුම් ශේෂ අර්බුදයක් මතු ව ඇත්තේ ද ඒත් සමගය.

අනෙක් වැදගත් කාරණය නම්, මෙවැනි අර්බුදයක් නිර්මාණය විය හැකි බවට 2012, 2013 කාලයේ සිටම පුරෝකථන ඉදිරිපත් වීමය. ඒ, සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ හැසිරීම පදනම් කොටගෙනය. 2020 සහ 2021 කාලය වන විට ලංකාව විදේශ ණය සේවාකරණයෙහිලා අසමත් රාජ්‍යයක් බවට පත්වනු ඇතැයි ආර්ථික විද්‍යාඥයෝ අනාවැකි පළ කළහ. එසේම මහ භාණ්ඩාගාර නිලධාරීන් ද ඒ බව දැන සිටින්නට ඇත.

මෙම අර්බුදය යටතේ විමසුමට ලක් කළ යුතු තවත් වැදගත් කරුණක් තිබේ. එනම්, 1978  දී හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිසංස්කරණ යටතේ 2004 කාලයේ සිට විශාල අයවැය හිඟයක් පවතින බවත්, එය පියවා ගැනීම පිණිස දේශීය සහ විදේශීය මූලාශ්‍රවලින් විශාල වශයෙන් ණය ගනිමින් ආර්ථික කටයුතු පවත්වාගෙන යන බවත්ය. එම ආර්ථික සංවර්ධන මොඩලය අසාර්ථක බව මේ අර්බුදයේ යටි පෙළයි. දිගු කාලයක් තිස්සේ ණය ගැනීම ඔස්සේ සංවර්ධනය ඇති කිරීමේ ආර්ථික ආකෘතිය පුපුරා යෑමෙන් මේ අර්බුදය හටගත් බව මගේ අදහසයි. එම සංවර්ධන ආකෘතිය 2019පමණ වන විට පුපුරා යෑමට නියමිතව තිබූ අතර ආණ්ඩුව ඒ පිළිබඳ ජනතාවට ඇත්ත නොකීම බරපතළ ප්‍රශ්නයකි.

විදේශ විනිමය ලැබීම් නිසි පරිදි අධීක්ෂණය කිරීමට මෙරට මහ බැංකුව පසුගිය කාලයේ කටයුතු කර නොමැත. උණ්ඩියල් සහ හවාලා වැනි දූෂිත ක්‍රම ඔස්සේ සිදු වන විදේශ විනිමය ගනුදෙනු වැළැක්වීමට ද මහ බැංකුව අවැසි ක්‍රියාමාර්ග නොගත්තේය. එසේම මහ බැංකුව වැරැදි මුල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේය.

රජය විශාල වශයෙන් ආර්ථික කටයුතුවලට මැදිහත් වෙමින් සහ ණය ගනිමින් සංවර්ධනය ඇති කිරීමේ ආර්ථික මොඩලය පුපුරා යෑමෙන් වත්මන් ආර්ථික අර්බුදය උද්ගතව තිබෙන නිසා, එයට ආමන්ත්‍රණය කිරීමේදී එම ආර්ථික සංවර්ධන මොඩලය වෙනුවට වෙනත් විකල්ප සංවර්ධන ආකෘතියක් භාවිත කළ යුතුය යන්න ආරම්භයේදීම සඳහන් කළ යුතුය.

වත්මන් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව පවතින ආර්ථික අර්බුදය විසඳීම සඳහා ගනිමින් සිටින ක්‍රියාමාර්ග ඇතුළත් ප්‍රවේශය සාර්ථක හෝ අසාර්ථක හෝ යැයි කීමට වඩා, එය යම් අපෙක්ෂාවක් ඇති කරගත හැකි ප්‍රවේශයක් ලෙස හැඳින්වීමට මම කැමැත්තෙමි. පළමු වැදගත් කාරණය නම්, වත්මන් ආර්ථික අර්බුදය ගැන අගමැතිවරයා අර්ධ වශයෙන් හෝ සත්‍ය පැවැසීමය. එහෙත් එය 2020 වර්ෂයේ පළමු කාර්තුවේදී කළ යුතුව තිබුණකි. අර්බුදය විසඳීම සඳහා යම් ප්‍රවේශයක් ගෙන තිබුණ ද අලුත් අයවැයක් හෝ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් හෝ මෙතෙක් එළිදක්වා නැති තත්ත්වයක එහි සාර්ථක අසාර්ථකභාවය ගැන දැන්ම යමක් කිව නොහැකිය. කෙසේ වෙතත් එය හොඳ ආරම්භයක් යැයි කිව හැකිය. අග්‍රාමාත්‍යවරයා සහ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනකු හැරුණු විට ව්‍යවස්ථාදායකය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අතිවිශාල පිරිසකට මේ අර්බුදය කුමක් ද යන්න පවා තේරුම්ගත නොහැකිය. මෙවැනි අර්බුදයක් විසඳීමට ගැඹුරු තාක්ෂණික සහ විද්‍යාත්මක විසඳුම් අවශ්‍යය.

මේ අර්බුදය විසඳීමට යෝග්‍ය විසඳුම් අංශ දෙකක් යටතේ ඉදිරිපත් කිරීමට මා කැමැතිය. පළමුවැන්න නම්, ක්ෂණික සහ කෙටි කාලීන විසඳුම්ය. එවැනි ක්ෂණිකව කළ යුතු දේවල් අතරින් ඇතැම් ඒවා ගත වූ මාස එක හමාරක කාලයේදී මහ බැංකුව විසින් ක්‍රියාවට නංවනු ලැබ තිබේ. එකක් නම්, ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා යොමු වීමය. එහෙත් අප එය ආරම්භ කළ යුතුව තිබුණේ 2019 සහ 2020 කාලයේදීය. පමා වී හෝ ඊට යොමු වීම හොඳ තීරණයකි. ද්වි පාර්ශ්වීය, බහු පාර්ශ්වීය සහ වෙළෙඳපොළ යන මූලාශ්‍රවලින් අපි ණය ගත්තෙමු. එම සියලු පාර්ශ්ව එක් මේසයකට කැඳවා ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු පවත්වාගෙන යෑමට නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය වැඩසටහනට යෑම අත්‍යවශ්‍යය.

මෙම අර්බුදය විසඳීමට ගත හැකි තවත් එක් කෙටි කාලීන ක්‍රියාමාර්ගයක් වන්නේ, ඩොලර් බිලියන 2ක් හෝ 3ක් විදේශ ප්‍රධාන වශයෙන් එක් රැස් කරගැනීමය. අපේ මිත්‍ර රටවල් සහ සහන සපයන ජාත්‍යන්තර ආයතන සම්බන්ධිකරණයෙන් එම කටයුතු පවත්වාගෙන යා හැකිය. මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුව ඒ වෙනුවෙන් වෙනම ගිණුමක් ස්ථාපිත කර අවශ්‍ය කටයුතු කරගෙන යයි. අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ පරිදි ඒ අරබයා ආධාර සමුළුවක් කැඳවීම ද අවැසිය.

පවතින සංඛ්‍යාත්මක තොරතුරු අනුව, ලංකාවේ විදේශ විනිමය ගනුදෙනුවලින් සියයට 30ක පමණ ප්‍රතිශතයක් සිදු වන්නේ අවිධිමත් වෙළෙඳපොළෙහිය. ඒ ගැන පර් යේෂණ පවා සිදු කර ඇත. එම අවිධිමත් වෙළෙඳපොළ ඇතුළත ඩොලර් බිලියන 5ත් 7ත් අතර මුදලක් සංසරණය වන බව මගේ අදහසයි. එවැනි සන්දර්භයක, ශ්‍රී ලංකා මහ බැංකුව කළ යුත්තේ පවතින විදේශ විනිමය නීති තාවකාලිකව අත්හිටුවමින් අදාළ මුදල් මෙරට බැංකුවල විදේශ මුදල් වශයෙන්ම තැන්පත් කිරීමට ඉඩ ලබා දීමය. ඒවා කළු මුදල් ද උපයා ගත්තේ කෙසේ ද යනාදී කාරණා මේ අවස්ථාවේ නොසැලකිය යුතුය. වැදගත් වන්නේ එම මුදල් රටේ ආර්ථිකයට එකතු කරගැනීමය. ඒ සඳහා ක්‍රියාත්මක වීමේදී පවතින පොලී අනුපාතවලට වඩා ඉහළ පොලී අනුපාතයක් හඳුන්වා දීම ද වැදගත්ය.

මෙරටින් අපනයනය කරන භාණ්ඩවලට අදාළ ගෙවීම් ලංකාවට ලැබෙන්නේ ද යන්න අධීක්ෂණය වන ක්‍රමවේදයක් ලංකාවේ නැත. එබැවින් එම ආදායම් නිසි පරිදි රටට ලැබෙන්නේ ද යන්න අධීක්ෂණය කිරීම අරබයා වැඩපිළිවෙළක් ද අවශ්‍යය. එය මහ බැංකුවේ වගකීමකි.

මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් ඇතැම් දෙනා ඩොලර් රැගෙන නොඒම ද ප්‍රශ්නයකි. ඉන්දියාව වැනි රටකින් පැමිණෙන සංචාරකයන් ඩොලර් වෙනුවට ශ්‍රී ලංකා රුපියල් ගෙන එන බව මිත්‍රයකුගේ මාර්ගයෙන් මා හට දැනගන්නට ලැබිණි. එහිදී බොහෝ විට සිදු විය හැක්කේ එම සංචාරකයන් අවිධිමත් වෙළෙඳපොළෙන් රුපියල් ගැනීමය. එවැනි සන්දර්භයක රටට සංචාරකයන් පැමිණිය ද විදේශ විනිමය ලැබීමක් සිදුවන්නේ නැත. යුරෝපා කලාපයට අයත් රටවලින් එන සංචාරකයන් බහුතරයක් දෙනා බහුජාතික සංචාරක සමාගම් හරහා ලංකාවට පැමිණෙති. එසේ එන අයගෙන් ලැබෙන විදේශ විනිමය අදාළ සංචාරක සමාගම්වල බැංකු ගිණුම්වලට බැර වන්නේ ද යන්න අපි නොදනිමු.

කෙටි කාලීනව ගත හැකි තවත් වැදගත් පියවරක් නම්, විදෙස් රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් එවන මුදල් වැඩි කරගැනීම වෙනුවෙන් විවිධ සහන හඳුන්වා දීමය. ඔවුන් රටට එවන මුදල් නාස්ති නොකර සංවර්ධනය සඳහා පමණක් යොදවන්නේය යන විශ්වාසය ඇති කිරීම ඉතාම වැදගත්ය. මෙම ක්‍රියාමාර්ග අනුගමනය කිරීම මගින් පවතින උග්‍ර ඩොලර් හිඟයට පිළියම් සෙවීම අත්‍යවශ්‍යය.

විවිධ රාජ්‍ය උත්සව වෙනුවෙන් අධික වශයෙන් මහජන මුදල් වැය කිරීම නතර කිරීම ද කළ යුතුය. නාස්තිය සහ දූෂණය නතර නොකරන්නේ නම් අපට කිසි ලෙසකවත් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ යා නොහැකිය. මගේ නිරීක්ෂණය අනුව, ලංකාවේ දූෂණයෙහි නිරත පාර්ශ්ව තුනක් සිටියි. පළමු පිරිස දේශපාලනඥයන්ය. වංචා දූෂණවලට සම්බන්ධ නැති පිරිසුදු දේශපාලනඥයන් සුළු පිරිසක් සිටින බව ද අමතක නොකළ යුතුය. දෙවැනි පිරිස සුදු කර පටි සොරුන් ලෙස හඳුන්වන නිලධර පැලැන්තියේ ඇතැම් පිරිස්ය. ඒ අතර හොඳ රාජ්‍ය සේවකයෝ ද සිටිති. තෙවැනි කණ්ඩායම වන්නේ නිල් කර පටි සොරුන්ය. සොරකම වංචාව නතර කිරීම සඳහා දැනට පවතින ක්‍රියාමාර්ග සම්පූර්ණයෙන්ම අසාර්ථකය. එසේම ඒවාට අදාළව පරීක්ෂණ ක්‍රියාත්මක කරන ආයතනවල ක්‍රියාකාරීත්වය ද දුර්වලය.

තෙල් සම්බන්ධ ප්‍රශ්නය විසඳීමේදී මැදපෙරදිග කලාපයේ පවතින තෙල් ඒකාධිකාරය වෙනුවට විකල්ප සොයාගත යුතු බව අපි කාලයක් තිස්සේ කීවෙමු. ඒ සඳහා අවැසි විකල්ප බලශක්ති ප්‍රභව වැඩි දියුණු කරගන්නා තෙක් රුසියාව සමග ගිවිසුම්ගතව එරටින් තෙල් ආනයනය කිරීම අපට කළ හැකිව තිබිණි. රුසියාව ලොව දෙවැනි විශාලතම තෙල් නිෂ්පාදකයා මෙන්ම ප්‍රධාන ගෑස් නිෂ්පාදකයෙක් ද වෙයි. මේ අවස්ථාවේ මාස 6ක් හෝ අවුරුද්දක් වැනි සහන කාලසීමාවක් සහිතව එරටින් තෙල්, ගෑස් සහ පොහොර ලබා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කළ හැකිය. රුසියාව ලංකාවේ මිත්‍ර රාජ්‍යයක් වන හෙයින් ඒ අරබයා ඉහළ විභවතාවක් ද පවතියි. බලධාරීන් ඒ සඳහා යොමු නොවන්නේ මැදපෙරදිග තෙල් ඒකාධිකාරය සමග පවතින කිසියම් ප්‍රශ්නයක් නිසා ද යන්න සැකසහිතය. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් රුසියාවට එරෙහි සම්බාධකවලට මැදිහත් වන්නැයි දැඩි පීඩනයක් යටතේ ඉන්දියාවට කියා සිටි අවස්ථාවේ ඉන්දියාව එය ප්‍රතික්ෂේප කරමින් පැවැසුවේ දේශීය ආර්ථික අභිවෘද්ධිය උදෙසා තමන්ට රුසියාවෙන් තෙල් සහ ගෑස් ලබා ගැනීමට සිදු වන බැවින් එම සම්බාධකවලට සම්බන්ධ විය නොහැකි බවය. ඉන්දියාව දැන් රුසියාවෙන් තෙල් ආනයනය කරමින් සිටියි. ඉන්ධන හිඟයෙන් මිනිසුන් පීඩාවට පත්වීම වැළැක්වීම සඳහා ලංකාව ද කෙටි කාලීන පියවරක් වශයෙන් රුසියාවෙන් තෙල් සහ ගෑස් ලබා ගැනීමට යොමු විය යුතුය යන්න මගේ අදහසයි.

පවතින අර්බුදය විසඳීම පිණිස ගත හැකි දිගු කාලීන ක්‍රියාමාර්ග ද ඇත. එහිදී මගේ පළමු යෝජනාව වන්නේ, විදේශ ණය ගෙවීම සඳහා යළි ණය ගැනීමේ උපයාමාර්ගයෙන් අප ඈත් විය යුතු බවය. ඒ අරබයා යොදාගත හැකි විකල්පයක් නම්, අපගේ විදේශ ණය හිමියන්ට ණය ගෙවීම වෙනුවට එම ණය ආයෝජනවල කොටස්කරුවන් බවට පත්වීමට ඉඩ ලබා දීමය. යහපාලන ආණ්ඩුව කාලයේදී හම්බන්තොට වරාය සම්බන්ධයෙන් අනුගමනය කළේ එම ප්‍රතිපත්තියයි.

දෙවැනි දිගු කාලීන ක්‍රියාමාර්ගය වන්නේ ආණ්ඩුව ව්‍යාපාර කිරීමෙන් වැළකී සිටීමය.

නව ලිබරල්වාදය වෙනුවට ලංකාවේ ගජමිතුරු ධනවාදයක් බිහි වූයේ ද 1977න් පසු ආණ්ඩු ව්‍යාපාර කළ නිසාය. සෞඛ්‍යය, අධ්‍යාපනය වැනි පොදු සේවා සැපැයීම සම්බන්ධ ගැටලුවක් නැතත් ආණ්ඩුව ව්‍යාපාර නොකළ යුතුය. පෞද්ගලික ව්‍යවසාය වැඩි දියුණු කිරීමට අදාළ සානුබල ව්‍යුහයක් ආණ්ඩුව මැදිහත්ව සකස් කළ යුතුය. ලංකාවේ රාජ්‍ය මැදිහත් වීම විශාලය. එබැවින් එය අවම කිරීම අවශ්‍යය. රාජ්‍ය මානසිකත්වයයෙන් දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් මිදිය යුතුය. එසේම ආණ්ඩුවෙන් සියලු දේ කළ යුතුය යන පරපුටු මානසිකත්වයෙන් රටේ ජනයා ඈත් වීම ද අත්‍යවශ්‍යය. දිළිඳු, වයෝවෘද්ධ සහ විශේෂ අවශ්‍යතා ඇති අයට පමණක් ආණ්ඩුවෙන් කළ යුතුය යන කතිකාව සීමා කළ යුතුය.

ණය මත සංවර්ධනය සිදු කරන ආර්ථික මොඩලය වෙනුවට විකල්ප සංවර්ධන ආකෘතියකට යොමු වීම මීළඟ දිගු කාලීන පියවරයි. ඒ යටතේ දේශීය ඉල්ලුම මත පදනම් කරගත් සංවර්ධනයකට අප යා යුතුය. පැරැණි ආයාත ආදේශන ප්‍රතිපත්තිය වෙනුවට ආයාත තරගකාරී කර්මාන්තවලට යොමු වීම වැදගත්ය. ඒ අරබයා පර් යේෂණ සංවර්ධන කටයුතු සහ නවෝත්පාදන අවැසිය. 1970 දශකයේ ඇති වූ තත්ත්වයෙන් පාඩම් උගත් නොගත් නිසා යළි වසර 40කට පමණ පසු අපට මෙවැනි අර්බුදයකට මුහුණ දීමට සිදු ව ඇත. එනම්, දේශීය ආර්ථික ශක්‍යතා වැඩි දියුණු කර නොගැනීමේ ප්‍රතිවිපාකයයි. එබැවින් තාක්ෂණය සහ විද්‍යාව යොදා ගනිමින් අප ඒ සඳහා යොමු විය යුතුය.

සිවුවැනුව විදේශ ආයෝජන සඳහා සුදුසු පරිසරය නිර්මාණය කළ යුතුය. වංචා දූෂණවලට අමතරව විවිධ වෘත්තීය සමිති සහ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීත්වයත් ලංකාව විදේශ ආයෝජන අරබයා ආකර්ෂණීය රටක් නොවීමට බලපා ඇති බව කිව යුතුය. අවම ස්වාභාවික සම්පත් ඇති සිංගප්පූරුව සමග සැසඳීමේදී ලංකාවට වැඩි වශයෙන් ආයෝජන නොඑන්නේ අපේ රටේ පවතින ආර්ථික ප්‍රතිපත්ති ශ්‍රම බළකායේ තිබෙන ප්‍රශ්න සහ පුරවැසි ක්‍රියාකාරීත්වය නිසාය.

බදු ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීම ද අත්‍යවශ්‍යය. මගේ මතය අනුව රටේ සැම පුරවැසියකුම බදු ගෙවිය යුතුය. ලංකාවේ පවතින්නේ දුප්පතුන්ට එරෙහි බදු ක්‍රමයකි. වැට් වැනි බදුවලින් වැඩි වශයෙන් පීඩාවට පත් වන්නේ පහළ ආදායම් ලබන අය බැවිනි. ආදායම් බදු අය කිරීමේදී ඉහළ ආදායම්ලාභීන්ගෙන් වැඩි ප්‍රතිශතයක් සහ පහළ ආදායම්ලාභීන්ගෙන් අඩු ප්‍රතිශතයක් වන පරිදි බදු ක්‍රමය සංශෝධනය කළ යුතුය. බදු ක්‍රමය සරල කිරීම ද අවශ්‍යය. එසේම බදු අය කිරීම් ඩිජිටල්කරණය කළ යුතුය. වෙළෙඳපොළ ආර්ථික සැලසුම් කමිටුවක් ද පත් කළ යුතු අතර එයට පත් විය යුත්තේ විෂය පිළිබඳ දැනුමැති පිරිස්ය.

(*** සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ)