වැඩ ඇරී එන කලට ඔබ සමග

සෙනගින් පිරී ගිය දුම්රියක

අවුලාගෙන හිස් සිගරැට් පැකැට්ටුවක්

ඒ මත පැන්සල් කෙටියකින්

කුරුටු ගාන්නට ඇත මට කවියක්

 

එසේ වුව සොහොයුරනි

ඔබ ගැනම මා ලියන ඒ කවිය

ඔබගෙන් බොහෝ දෙනකුට

අද දින නොවැටහෙන බව දනිමි

 

ලෝකය මීට වඩා යහපත් වන

අනාගතේ යම් දවසක

ඔබ එය මීට වඩා ආදරයෙන්

කියවන බවද දනිමි

මතු දැක්වූයේ මහගම සේකරයන්ගේ ප්‍රබුද්ධ ආඛ්‍යාන කාව්‍යයේ ආරම්භයේ එන ඔහුගේ අදහසකි. නූතන කවියේ පැහැදිලි හැරවුම් ලක්ෂ්‍යයක් නිර්මාණය කරමින් සිංහල කවිය ප්‍රභාවත් කළ විශිෂ්ටතම කවියා යැයි නිසැකයෙන් කිව හැකි මහගම සේකර කවියාගේ 50 වැනි ගුණ අනුස්මරණය මෙම මස 14 වැනිදාට එනම් හෙට්ට යෙදී තිබේ.

මෙම සටහන වෙන් වන්නේ ඒ වෙනුවෙනි. කවිය මතු නොව සිනමාව, නවකතාව, සිතුවම් කලාව, නාට්‍ය, ගීත රචනා කලාව, කෙටිකතාව ආදී විවිධාංශවට සුපෝෂණයට අපරිමිත මෙහෙයක් ඉටුකළ මහගම සේකර යනු අපට කලාතුරකින් මුණගැසෙන ප්‍රතිභා සම්පන්න නිර්මාණ රචකයෙකි. 1929 අප්‍රේල් මස 07 වැනිදා ඉපිද 1976 ජනවාරි මස 14 වැනිදා මෙලොවින් සමුගත් සේකර අවුරුදු 47ක් තරම් කෙටි කාල සීමාවකින් දිවිය නිමා කළ ද ඔහු රසික හදවත් තුළ නොමියෙමින් දින දින අලු‍ත් වෙමින් මෙරට කවියට කලාවට පාර පෙන්වන පෙර ගමන් කරුවකු බව පැහැදිලිය. සැබැවින්ම ඔහු අනාගතය දුටු කවියෙකි. අප මතු උපුටා දැක්වූ කාව්‍ය ඛණ්ඩයෙන් පවා අවධාරණය වන්නේ එයමය.

සේකර පැමිණි ගමන් මග කවිය තුළ විමසා බැලීමේදී සේකරගේ භූමිකාව වැදගත් වන්නේ කවර කාරණා නිසාද? ප්‍රවීණ කිවියර, ප්‍රවීණ ගීත පද රචක ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහයන්ගෙන් අපි මේ පිළිබදව විමසා සිටියෙමු. රත්න ශ්‍රී ගේ අදහස මෙබඳුය.

‘මහගම සේකර කවියකු හැටියට මුලින්ම ව්‍යංගා කෘතිය පළ කරන්නේ 1960 වසරේදී. ඒ අවධිය වන විට අපේ කවිය කොළඹ යුගයේ දෙවැනි පරපුර අතින් ජනප්‍රිය වෙලා යම් පරිහානියකට ලක්වෙමින් තිබුණා. අනිත් පැත්තෙන් නවසිය පනස් ගණන්වල පේරාදෙණියේ සාහිත්‍ය තුළ සිරි ගුනසිංහගේ මස් ලේ නැති ඇට, අබිනික්මන, ගුණදාස අමරසේකරගේ භාවගීත වගේ පොත් පළ වීමත් සමග නිදහස් කවිය යම් තරමකට විද්‍යාථීන් අතර පැතිරිලා තිබුණ. ඒ අතර තමයි මහගම සේකර කවියට අවතීර්ණ වෙන්නෙ. ව්‍යංගා කෘතිය පළ කළේ කේ.ජයතිලකත් එක්ක. 1962 දී පළ කළ සක්වාළිහිණි කාව්‍ය සංග්‍රහයෙන් තමයි සේකර ස්වතන්ත්‍ර කාව්‍ය සංග්‍රහ පළ කරන්න පටන් ගන්නේ. ඒකෙ තිබුණු කවිවල එකල සමකාලීන කවිත් එක්ක බැලු‍වාම යම් වෙනසක් තිබුණා. මූලිකව ගත්තොත් සේකරට ජන්දස ගැන තරමක විශ්වාසයක් තිබුණා. එසේම පවත්නා සමාජයේ යථාර්ථය ඉතා මැනැවින් දකින්න ඔහුට පුළුවන් කම ලැබුණා. ඒ ලක්ෂණ සක්වාළිහිණි පොතේ ඇතුළත් කවිවලින් දකින්න පුළුවන්.

සිදාදියට එන්නට මට

බුද්ධිය ඔබ තමයි එදා

පාර කියා දුන්නේ

ගමෙන් උරුම වූ වස්තුව

පොදියක් බැද කර තියාන

උබේ බහට රැවටීලයි

සිදාදියට ආවේ

ඒ කාලේ පහල මධ්‍යම පාන්තිකයො නගරයට එනවා අධ්‍යාපනය හොයාගෙන. ඒත් ඒ ආවාම ඔවුන්ට මොකද්ද වෙන්නෙ කියන කාරණය ඉතා කදිමට මේ වගේ කවිවලින් මතු කළා.

ඒ වගේම කිදුරු කුමාරි වගේ කවි පෙළකින් ඔහු ජනකාව්‍ය සම්ප්‍රදාය අත් හදා බලන්න උත්සාහ කරලා තිබුණා. ඊළගට 1963 දී හෙට ඉරක් පායයි කාව්‍ය සංග්‍රහයේදී කවියේ ආකෘතිය හා බද්ධ කරපු දෘෂ්ටිගෝචර මෝස්තරකාර ලක්ෂණ දකින්න පුළුවන්. ඒත් ඒ අත්හදා බැලීම් සේකර දිගින් දිගට අරගෙන ගිය බවක් පෙනෙන්නට නැහැ. මේ විලාසිතාවාදී  කවි සඳහා සේකරට බටහිර කවියෙන් ලැබූ ආභාසයත් බලපෑවා. විශේෂයෙන් ඊ.ඊ.කමීෂ් වගේ කවියන්ගේ නිර්මාණ. කොහොම වුණත් හෙට ඉරක් පායයි කෘතියේත් තියනව මෝස්තරවාදයට සීමා නොවුණු ඉතාම හොද කවි.

ඊට පස්සෙ මක් නිසාද යත් කාව්‍ය සංග්‍රහය 1964 දීත් රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත කාව්‍ය සංග්‍රහය 1965 දීත් පළ කරනවා. ඒ දෙකම ලියැවුණේ ආඛ්‍යාන කාව්‍ය හැටියට. මේ විදියට මහගම සේකර ඉතා ක්‍රමවත්ව කළ ඉතා හොද අත් හදා බැලීම් තිබුණා.

1970 දී සේකර බෝඩිම කාව්‍ය සංග්‍රහය පළ කරනවා. නොමියෙමි ලියන්නෙ 1974දි. ඔහුගේ අභාවයෙන් පස්සෙ තමයි ප්‍රබුද්ධ පළ වෙන්නෙ.

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ පැහැදිලි කිරීමෙන් අවධාරණය වන්නේ මහගම සේකර පියවරින් පියවර කළ විවිධ අත් හදා බැලීම් ඔහුගේ කවි මග දීප්තිමත් කිරීමට බලපෑ බවයි. සේකරගේ කවිය අදටත් මේ තරම් විමර්ශනයට ලක්වන අතරේ ඇතැම් විචාරකයන් කියා තිබුණේ මහගම සේකර මේතරම් ජනප්‍රිය වූයේ ඔහුගේ හදිසි මරණය නිසා බවයි. එම විචාරකයන්ගේ තවත් චෝදනාවක් වූයේ සේකර යනු කොළඹ යුගයේ සමනල් බසින් කවි ලියූ අයකු බවයි. රත්න ශ්‍රී එම විචාරකයන්ට පිළිතුරු දෙන්නේ මෙසේය.

‘ඒ චෝදනාව ඉතාම කාරුණිකව බැහැර කරන්න පුළුවන්. හැබැයි බොහෝ දෙනා මහගම සේකර අධ්‍යයනය කරන්නට යොමු වුණේ ඔහුගේ අභාවයෙන් පස්සෙ. නූතන පරම්පරාවේ කවියන්ට වැඩිපුරම බලපෑම් කළ කවියා තමයි මහගම සේකර. ඒක එහෙම වෙන්නෙ ඔහු භාවිත කළ භාෂාව, ඔහු සතුව තිබුණු විවේචක දෘෂ්ටිය නිසයි. ඔහු පූර්ව ධනේශ්වර සමාජය බිහිවෙන්නත් කලින්ම මේ විවේචක දෘෂ්ටිය මතු කරන්නට සමත් වුණා. ප්‍රබුද්ධ පොත ලියැවෙන්නෙ 1975 විතර. විවෘත ආර්ථිකය එන්නෙ 1977 දී. එයින් ඇතිවන ප්‍රතිඵල සමාජය දකින්නෙ ඊට පස්සෙ. ඒත් ඒකර ඒක කලින්ම දැක්කා. නවසිය හැත්තෑවේදී පමණ සේකරට පුළුවන් වුණා

ධර්මේ කාසිම් රාජසුන්දරම්

මෙහෙ වරෙල්ලා

අපි ඔක්කොම මේ ලෝකය

යහපත් තැනක් කරමු 

කියල ලියන්න. ඒ අනුව පැහැදිලියි ඔහු පෙර දැක්මක් තිබුණු කවියෙක් කියලා.‘

මහගම සේකර ගේ කවිය තරුණ ආකර්ෂණයට ලක් වීමට ප්‍රධාන කාරණයක් ලෙස ඔහුගේ භාෂා භාවිතය හේතු වූ බවට රත්න ශ්‍රී විජේසිංහ මහතා කරන ප්‍රකාශය අපි තවදුරටත් විමසා සිටියෙමු. ඔහුගේ භාෂා භාවිතයේ ඇති සුවිශේෂතා කෙබදුද? රත්න ශ්‍රී ඊට ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.

‘සේකර පාවිච්චි කළ කාව්‍ය භාෂාව ගත්තොත් ප්‍රධාන වශයෙන් එය තමන් තෝරාගන්නා අනුභූතියට ගැළපෙන භාෂාවක්. ඔහුට ස්ථාවර කාව්‍ය භාෂාවක් තිබුණේ නෑ. රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත පොතේ කාව්‍ය නායකයා ලයනල්. එයා යනවා මනමාලියක් බලන්න. මනමාලිය ප්‍රේමවතී. දෙන්න මුණගැහෙන අවස්ථාව කවියා ඉදිරිපත් කරන්නෙ මෙහෙම.

ප්‍රීමවතීගේ ඇස් දෙක

විදුලි ඉරක් මෙන් මොහොතක් දිලී නිවිණ.

ඒක ක්ෂණිකාලෝකයක් වගේ. මනමාලිය දුටු මුල් දින

ලයනල් ගේ සිතට නැගිණ

 දෑස දෙතොල දෙබැම නැහැය

මනහරනා මෙනෙවියක් ය

මේක බැලු‍වම තියෙන්නෙ පැරකුම්බා සිරිතෙ එන විරිදු තාලය.

ඔදැති තෙදැති රුපුනිරිමැඩි

විපුල විකුම් නාරායන

යුවැති නයන මන පිනවන

රුසිරි තෙමේ නාරයන

මේ තාලය තමයි සේකර ගන්නෙ. ඊළගට කවියා තමන්ගෙ පෙම්වතිය වර්ණනා කරන්න ගන්නවා. ඒ සඳහා සේකර සම්භාව්‍ය චිරන්තන කාව්‍ය භාෂාවක් පාවිච්චි කරනවා.

මුහුළස රන්වන් කෙහෙවැටි බැන්දූ

ලවනත රන්වන් සිනා පැලැන්දූ

ඔහු නෙත සිත බැද ලී එම ලන්දූ

 

මෙවන් දෙයක් නැත මින් පෙර සිදු වී

නුවන් මගේ මට අදහනු බැරි වී

සුවණ්ණතිලකාවිය පිය බද වී

නිවන්න මා හද දයි ඔබ සිහි වී

ගීතවත් බව වගේම සම්භාව්‍ය

භාෂාවත් කවියා මෙහිදී භාවිත කරනවා. හරියට ස්වර්ණතිලකාට උද්දාල බ්‍රාහ්මණයා මුණගැහුණු වෙලාව වගේ අවස්ථාවක් මවනවා. ඒකයි මම කිව්වෙ අත්දැකීමට උචිත භාෂාවක් සේකර හැම තිස්සෙම පාවිච්චි කරනව කියලා. උදාහරණයක් විදියට මක් නිසාද යත් පොතේ තියෙනවා ජනාකීර්ණ නාගරික පරිසරයක තිබුණු උදෑසනක් ගැන කියැවෙන කවියක්. ඒක ඇත්තටම විජය හෝඩි පොත කියල පරණ පොතක් තියෙනවා ඒකෙ අන්තිමට පොඩි කවි පෙළක් තියෙනවා.

සිනා සිරින් දිලේ උදේම මල් පිපී

මමත් වහා ඇදෙන් නැගී මැළී නොවී

කටත් මුවත් දොවා වදිම් දෙමාපියන්

කියන කවිය. නාගරික මුඩුක්කු පරිසරයක උදෑසන වර්ණනා කරන්න සේකර පාවිච්චි කරන්නෙ මේ රිද්මය.

බිදෙන් බිදේ ජලේ පයිප්පයෙන් වැටේ

බෙලෙක්ක ටින් රැගත් ළමෝ වටා සිටිත්

ඉහින් කනින් පෙරී ඩබල් ඩෙකර් දුවයි

ඇසුත් කනුත් වසා නගින්නෙ දූවිලියි

උඩින් උඩින් දෙපා තබා මසෙන් මිදී

සුරංගනාවියෝ මුඩුක්කුවෙන් බසිත්

අප පැරැණි පොත කියවලා තිබුණු කෙනෙකුට ඒ කවියයි සේකරගෙ කවියයි අතර මනා උත්ප්‍රාසයක් හඳුනාගන්න පුළුවන්. ඒ උත්ප්‍රාසය මතුවෙන්නේ ඊට ගැළපෙනම ආකෘතිය තෝරගන්න නිසයි. රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත පොතේ තියනවා වීදි ගායක කණ්ඩායමක් සහිත පවුලක් ගැන කියන තැනක්. ඒ තාත්තා අන්ධයි. පොඩි දුව නටනවා.

පිඩු කොට වමත ඇඟිලි

ඇනගෙන ඇනගෙන යනවිට රීඩ්වලට

දුබල හඩින් කෙඳිරිගායි සර්පිනාව

අන්ධ පියා සින්දු කියයි කෙට්ටු දෑත් ලෙළව ලෙළව

සිඟිති දූ නටයි

සෝබා දර්ශන වේ ප්‍රීති ප්‍රීති ජීවිතේ

මෙතන තියෙන්නෙත් උත්ප්‍රාසය. ඒක හරිම අපූරුවට ගලපගන්න සේකරට හැකියාව තිබුණා. සේකර ඉස්සර ගුවන් විදුලියේ කල්පනා කියල වැඩසටහනක් කළා. ඒකෙදි ඔහු උත්ප්‍රාසය හඳුන්වා දෙන්න පැහැදිලි කිරීමක් කළේ මෙහෙම

‘මම අද කෝච්චියේ එනකොට යාචකයෙක් ගොඩ වුණා එයාට කකුල් දෙකම නෑ. එයා සින්දුවක් කිව්වා.

කොයිමටදෝ මෙ සතා යන්නෙ මෙසේ මග බැසලා කියලා. ‘එයාට සොබාවයෙන්ම ඇවිදින කකුල් දෙකක් නෑ. ඒත් එයා ප්‍රශ්න කරනවා මේ සත්වයා ඇවිදලා කොහාටද යන්නෙ කියලා. ඉතින් එතන තියෙන්නෙ ප්‍රබල උත්ප්‍රාසයක්.

ඉහළ මධ්‍යම පන්තිය ගැන බරපතළ විවේචනයක් නොමියෙමි සහ ප්‍රබුද්ධ පොත්වල තියෙනවා.

නිවටයන්ට නිවට වීමි

මෝඩයන්ට සර් කීමි

නොකා නොබී අගුපිල්වල දුෂ්කර ක්‍රියා කළෙමි.

ඒ වගේ ඒවා නොමියෙමි පොතේ තියෙනවා. සේකර මේ දේවල් කියද්දි විවෘත ආර්ථිකය ඇවිල්ලා තිබුණෙ නෑ. ඔහු මේ විවේචක දෘෂ්ටිය හෙළන්නෙ පුරෝකථනයක් වගේ. කවියෙක් ඇත්තටම එහෙම වෙන්න ඕනෑ. ඔහුට පෙර දැක්මක් තියෙන්න ඕනෑ. ‘

මහගම සේකරයන් කවියකු ලෙස ඔහුගෙන් අසු පරම්පරාවලට කළ බලපෑම අති විශාලය. මේ බලපෑම පසුකාලීන කවිය මත දිග හැරෙන්නේ කෙසේදැයි අපි රත්න ශ්‍රී විජේසිංහයන්ගෙන් විමසා සිටියෙමු. ඔහුගේ පිළිතුර මෙසේය.

‘කොළඹ යුගයේ ජනප්‍රිය කවි ධාරාව එහෙමම තිබුණා. සිරි ගුනසිංහගේ සම්ප්‍රදාය වෙනම තිබුණා. මේ දෙක වෙනම කුලක දෙකක විදියට තිබුණෙ. මේ දෙක යා කළ පාලම තමයි මහගම සේකර. මේ සම්ප්‍රදායන් දෙකේම හොද ලක්ෂණ සේකරගෙ කවියෙ තියෙනවා. නොමියෙමි පොතේ රමණී ගැන වර්ණනා කරද්දි සේකර පාවිච්චි කරනවා

පතුල සිඹින වසින වරල ගන මේ කුළු හිසිනී

දෙතන දෙකදු මැද ඇලි ඇලි ගලන දුහුල රමණී

නිලන නිමල සිහිලඹ පිරි නයන පොකුණ සොබනී

කෙදින කොතැන මුන ගැසිනිද කෙම්බිම ඔබ රමණී

මේක තනිකරම තිශ්‍රජාලි තාලයක්. මාත්‍රා තුනෙන් තුනට කැඩෙන. දිය ඇල්ලක් ගලාගෙන බහිනවා වගේ රිද්මයක් මතුවෙන්නෙ. පැරණි සම්භාව්‍ය භාසාවම තමයි මරණයේ රමණීයත්වය කියන්න සේකර භාවිත කරන්නෙ. ‘

කවිය මතු නොව නූතන ගීතයේ සුපෝෂණය සඳහාද මහගම සේකරයන් දුන් දායකත්වය සුළුපටු නොවේ. සේකරම පවසන පරිදි ඔහු ගීත රචනයට එළැඹෙන්නේ කොළඹ තරුණ බෞද්ධ සංගමයේ පැවැති මානවසිංහයන්ගේ දේශනයකට සවන් දීමෙන් පසු බවය. සේකරගේ ගීත රචනා කලාවේ ක්‍රමික වර්ධනයත් සේවායේ අන්‍යයතා ලක්ෂණත් පිළිබඳව ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහයන් අප සමග පැහැදිලි කළේ මෙසේය.

සේකරගේ මුල්ම ගීත රචනා තියෙන්නෙ ඔහුගේ නාට්‍යවල. ගීතය සම්බන්ධයෙන් සේකර කළ අභ්‍යාස මේවායින් හොඳට පේනවා. ස්වර්ණතිලකා නාට්‍ය පෙන්නලා තියෙන්නෙ රාජගිරිය හේවාවිතාරණ විද්‍යාලයේ ගුරුවරයෙක් වෙලා සේකර ඉන්න කාලෙ. ඒක ඉස්කෝලෙ ළමයි අරගෙන කරපු එකක්. පොතේ ගුරු චරිතය රඟපාල තියෙන්නෙ එයාමයි. ඒ පාසලේ පාසල් ගීතයත් ඔහු ලියපු එකක්. මේ නාට්‍යයේ ගීතවල තියෙනවා ඔහුගේ රචනාවල ආධුනික ලක්ෂණ. ස්වර්ණතිලකා නාට්‍යයට ලියනවා උද්දාල සහ ස්වර්ණතිලකා අතර ප්‍රේම ගීතයක්.

එනු ස්වර්ණලතා එනු ස්වර්ණලතා

මට ප්‍රේමයේ ආලෝක පෑ, කියල තමයි පටන් ගන්නෙ. ඒකෙ තියෙනවා.

මදන රග මණ්ඩප පේ කරලා වගේ වචන ඒකම විකාශනය වෙලා තමයි පස්සෙ කාලෙ කුණ්ඩලකේෂී නාට්‍යයේ අන්න බලන් සඳ ගීතය නිර්මාණය වෙන්නෙ. එතකොට පේනවා ඔහු මේ ගීත රචනා කලාව ටිකෙන් ටික ටිකෙන් ටික පෝෂණය කරගත් සැටි.   

අත් පසුරෙන් තුරු පෙම්බරයන්

බද බන්දා සෙනේ සිතිනී

ලිය වැල් පැටලී ගොසිනී

සුබා ථේර ගාථා ආශ්‍රයෙන් සේකර බෝඩිම පොතේ ලියනවා

යන්නෙම් බවුන් වඩන්නට

නොඅහුරන් මා යන මග

පින්වත පැවිදි වූ මට

පිරිමි ඔබගේ පහස කැප නැත

එහෙම පටන් ගෙන තරුණියගේ ඇස් දෙක වර්ණනා කරන්න පටන් ගන්නවා. ඒකම තමයි පස්සෙ කාලෙ.

ඔබේ දෑසයි ඔබේ දෑසයි

නීල උත්පල දිගටි දෑයි

නීල චංචල කිදුරු දෑසයි කියල ගීතයක් හැටියට ලියැවෙන්නෙ. ඒ විදියේ අභ්‍යාස ගීතය වෙනුවෙන් සේකර දිගින් දිගටම කළා. ඒත් වර්තමානයේ නිර්මාණකරුවන් අතින් එබඳු අභ්‍යාස වෙන බවක් පෙනෙන්නට නැහැ. එක පාරට සින්දුවක් ලිව්ව යැව්ව. එච්චරයි.

මහගම සේකර චරිතය හා ඔහුගේ නිර්මාණ නූතන පරම්පරාව අධ්‍යයන කළ යුත්තේ ඇයි?. රත්න ශ්‍රී විජේසිංහයන් ඒ පැනයට දුන්නේ මෙබඳු පිළිතුරකි.

සේකරගෙන් නූතන සමාජයට ගන්න ආදර්ශ ගණනාවක් තිබෙනවා. එකක් තමයි ඔය කියන අධ්‍යයනය සහ අභ්‍යාසය. ඔහු විවිධාකාරයේ අත්හදාබැලීම් කළා. විවිධ භාෂා උපක්‍රම යොදාගනිමින්.

දිව්‍ය අංගනාවන්ට

අපට වාගෙ තරහ යන්නෙ නෑ.

ආරිච්චි බෝරිච්චි

කම්බි කූරු බෝල මාල

වගේ ගීතවල සේකර පාවිච්චි කරන්නෙ කටවහර. අත්දැකීමට අනුවයි භාසාව භාවිත කළේ. නළ දමයන්ති යට ලියූ ඈත කඳුකර හිමවු අරණේ වගේ ගීතයකට සම්පූර්ණයෙන් සම්භාව්‍ය භාෂාව යොදාගන්නවා.

රනින් කළවන් පුළුල් උරයෙන්

හසුන් ළමැදේ මුස කරන්නේ

හදේ මෝරන ආදරේ

සදේ සොමිගුණ යා කෙරේ

සරාගී නිල් නුවන් බදුනෙන්

නුරා ඉතිරෙන්නේ

මේකෙදිත් ඔහු කව්සිළුමිණේ කවි ආර පාවිච්චි කරනවා. කව්සිළුමිණේ කුස වලපේ පබාවතී කුස දාල ගියාට පස්සෙ කුස කියනවා මම වැරදි කළා තමයි, මොනවද මම කළ වැරදි

රතොට රත දියෙම්

කොපොල පතලේ බිදියෙම්

තන හස මුසු කළෙම්

නිදොසිද මා නොගියට

දෙතොල්වල තිබිච්ච රත උරාගත්ත, කම්මුල්වල පත්‍ර ලේඛා බිඳල දැම්මා. පයෝධර නැමැති හංසයන් මෘජ්ජාවට පත් කළා.

හසුන් ළමැදේ මුස කරන්නේ

හදේ මෝරන ආදරේ සදේ සොමි ගුණ යා කෙරේ

වගේ වචන සේකරට එන්නෙ මේ සම්භාව්‍ය සාහිත්‍ය ඇසුරු කළ නිසයි. ඉතින් මෙහෙම කවියකුට චෝදනා කරන්න පුළුවන්ද කොළබ යුගයේ සමනල් බසින් කවි ලිව්ව කියලා. ඔහුට සිංහල පාලි භාෂා ගැන හොඳ දැනුමක් තිබුණා. මේ භාෂා භාවිතය වඩාත් තියුණු වෙන්නෙ ඒ දැනුම නිසයි.

නූතනයේ කැප්පි පෙනෙන කවියකු වන ප්‍රවීණ කිවියර කුමාර හෙට්ටි ආරච්චි මහතා මහගම සේකර කවියාගේ මෙහෙවර පැහැදිලි කරන්නේ මෙසේය.

‘සිංහල කවිය තුළ මහගම සේකර කෙනෙක් සස්ලේෂණය වන්නේ ඕපපාතිකව නොවේ. ජීවිත පර්ග්නානයෙන් සුපෝෂිත වූවන් පරිණත කවිත්වයක් සේකර තුළින් උත්පාදනයට හේතු භූත වූ සමාජ සංස්කෘතික ඓතිහාසික තත්වයන් රාශියකගේ සමෝධානික සංකලනය ඊට හේතු වූ බව සේකර පහල වූ යුගය දෙස විමර්ශනාත්මකව බැලීමේදී තේරුම් ගත හැකියි.

සංදේශ කාව්‍යයෙන් වගේම ජනකවියෙන්ද මනාව පෝෂණය ලබන සේකර කොළඹ යුගයේ කවියෙන්ද ඉමහත් ආස්වාදයක් ලද බව ඔහුගේ පුළුල් කාව්‍ය නිර්මාණ දෙස බැලීමේදී පෙනී යනවා. එකල ඉමහත් ජනප්‍රියත්වයට පත්ව තිබූ කොළඹ කවියෙන් විශේෂයෙන්ම ඉංග්‍රීසි සෞන්දර්යවාදීන්ගෙන් මෝහනයට පත් කොළඹ යුගයේ දෙවැනි පරම්පරාවේ කවියද අනුකරණයෙන් තොරව ආභාසයෙන් වින්දනය කිරීමට සේකරට නොමද ඉඩකඩ තිබූ බව රසහසක් නොවේ. එහෙත් ස්වභාව සෞන්දර්ය චමත්කාරය හා මානව බැඳියාවන් හුදු භාවෝද්දීපනය පමනක් අරමුණු කරගත් රොමෑන්ටික් පදාසයකට කොටුවීම තුළ කොළඹ කවිය වුවමනාවෙන්ම අත්තටු හකුලාගත් පක්ෂියකුගේ තත්වයට පත්වුවත් සේකර ඒ සීමා අතික්‍රමණය කළේ සිය නිරායාස අව්‍යාජ නෛසර්ගික කවීත්වයේ ආනුභාවයෙන්.

‘කුමාර හෙට්ටි ආරච්චි තව දුරටත් ප්‍රකාශ කරන්නේ පී.බී. ෂෙලී, ජෝන් කීට්ස්, විලියම් වර්ඩ්ස්වර්ත්, බදු විශිෂ්ට සෞන්දර්යවාදී කවීන්ගේ නිර්මාණ විලාසයට ආසක්ත වූ කොළඹ යුගයේ දෙවැනි පරපුරෙන්ද ශික්ෂණය ලද සේකර ඊට කොටු වීමට තරම් …..... වින්ගානික අනුකරණයකු නොවූ බවයි. ඔහු ජී.බී. සේනානායකගේ ස්වකීය පලිගැනීම කෘතියෙන් හඳුන්වා දුන් නිදහස් කවි ආර තුල සිරි ගුනසිංහ ප්‍රමුඛ කවීන්ගේ නිසදැස් සම්ප්‍රදායෙන්ද පරිපෝෂිත විශිෂ්ට කාව්‍ය නිර්මාණ රැසක් සේකර බිහි කළ අන්දම කුමාර හෙට්ටි ආරච්චි මහතා අවධාරණය කරයි. ඔහු අප සමග තවදුරටත් මෙසේද කීවේය.

‘කොළඹ යුගයේ මුදුන් මල්කඩ සේ මා දකින විමලරත්න කුමාරගම කවියාගේ මානවවාදී භාවගෝචර කවියේදසිරි ගුනසිංහ ප්‍රමුඛ නිදහස් කවීන්ගේ බුද්ධිගෝචර කවියේද සුවිශිෂ්ට සංකලනයක් හැටියටයි මම සේකර දකින්නෙ. එම සුවිශිෂ්ට සංකලනයෙන් නිපන් මේ අප්‍රමාණ කවියා මටනම් සිංහල කවියේ සුවිපුල් දාර්ශනික කවියායි. බෝඩිම, රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත, නොමියෙමි වැනි දීර්ඝ ආඛ්‍යාන කාව්‍ය වල රූපාන්තරණයෙන් සුපුෂ්පිත ප්‍රබුද්ධ කාව්‍යයෙන් බෞද්ධ ප්‍රග්නා මාර්ගය ඔස්සේ මානව ජීවිතය දෙස තීව්‍ර විචාරාත්මක බැල්මක් හෙළන්නට මේ විසල් කවියා සමත් වෙනවා. මහාචාර්ය විමල් දිසානායකයන් ප්‍රබුද්ධ කාව්‍යය හැඳින්වූයේ පරිණත කවියේ අග්‍රඵලය ලෙසයි.

මෙම ප්‍රකාශය තුළ ආචාර්ය කුමාර හෙට්ටි ආරච්චි අවධාරණය කරන්නේ සිංහල සාහිත්‍ය කලා සම්භාෂණය තුල ප්‍රදීපස්ථම්භයක් බවට පත් වූ මේ දාර්ශනික මිනිසා අද සිංහල කවිය තුළ තාරකාවක් හෙවත් සූර්යයකු වී හමාර බවය. සේකර නම් සූර්යයගේ ගුරුත්වාකර්ෂන බලයෙන් මිදීමට අපොහොසත් වූ පසුකාලීන කවියන් බොහෝ පිරිසක් තාමත් කක්ෂගතව සිටින්නේ සේකර නම් ග්‍රහ මණ්ඩලය තුළ බවය. ඉන් විශද වන මුඛය කරුණ වන්නේ සේකරගේ කවිය සතු අප්‍රමාණ ගුරුත්වාකර්ෂණ බලයම බව ආචාර්ය කුමාර හෙට්ටිආරච්චි අවධාරණය කරයි. ඔහු එම අවධාරණය තුල මෙසේ ද කියයි.

‘මම මෙහිදී මගේ අතිශය පෞද්ගලික මතයක් ප්‍රකාශ කරන්න කැමතියි. මේක කියන්නෙ කාටවත් අපහාස කරන්න නොවෙයි. ඒ තමයි කවුරු වුණත් කෙතරම් සාර්ථක ලෙස සේකරව අනුකරණය කලත් සේකර වැනි උතුම් සරල අව්‍යාජ මිනිසෙක් වීමට නම් ආත්ම ගණනාවක බෑ. 

මහගම සේකර නම් විශිෂ්ට නිර්මාන රචකයා පිළිබඳව මොනතරම් නම් දේ කතා කළ හැකිද?. ඒත් ඒවා කතා කල නිමා කළ හැකිද? ප්‍රවීන ගීත පද රචක ප්‍රවීන කිවියර ධම්මික බණ්ඩාර මහතාගෙන් මහගම සේකරයන් පිළිබඳ විමසා සිටියදී ඔහු අපට ලබා දුන්නේ හරිම අව්‍යාජ සහ අපූරු උත්තරයකි.

‘මගෙ උත්තරේ මෙච්චරයි. විශ්වයේ බිහිවුණු නිහතමානී සෞන්දර්යාත්මක මිනිසා මහගම සේකරයි. ඒක ඇතුළේ ඔහුගේ චරිතය ඔහුගේ නිර්මාන මේ හැමදේම තියනවා. ‘                          

(*** සටහන - ගාමිණී කන්දේපොළ)