නිදහස ලැබී 75 වසරක් තුළ විශේෂයෙන් පසුගිය පාලන සමය තුළ ආර්ථික, සාමාජික සහ සංස්කෘතික වශයෙන් පසුබෑමකට ලක්ව තිබූ ලාංකේය සමාජය පසුගිය වසරේ සිට සුබවාදි ප්‍රවේශයකට ගමන් කරමින් තිබෙන බව සමාජ ආර්ථික දර්ශකවලින් පැහැදිලි වෙයි.

මහා පරිමාණ වංචා - දූෂණ, අයථා ගනුදෙනු, මුදල් කාබාසිනියා කළ නිස්සාර ව්‍යාපෘති, නීතියේ ආධිපත්‍යය බිඳවැටීම යනාදිය හේතු කරගෙන බරපතළ කඩාවැටීමකට භාජන වී තිබූ ලාංකේය සමාජය නිවැරැදි මාවතකට යොමු කිරීම රජයේ මූලික වගකීම සහ කාර්යභාරය බවට පත් විය. මෙම අරමුණ සාක්ෂාත් කරගැනීමට රාජ්‍ය යාන්ත්‍රණය මහත් කැපවීමකින් කටයුතු කරනු දක්නට ඇත.

ගත වූ පාලන සමයන් තුළ දක්නට ලැබුණේ දේශපාලකයන්ගේ සුඛවිහරණය සඳහා ශ්‍රී ලංකා සමාජය දේශපාලන රඟ මඬලක්, දේශපාලන කෙළිබිමක් බවට පත්කරගැනීමයි. රජයේ ප්‍රමුඛතාව වූයේ අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මය, සමාජ සුබසාධනය සහ ආර්ථික සංවර්ධනයට අවශ්‍ය වන්නා වූ ප්‍රතිපත්ති සම්පාදනය සහ ක්‍රියාමාර්ග ගැනීමයි. ජනතාව විසින් අසීමිත බලයක් වත්මන් රජයට ලබා දෙන ලද්දේ එම ප්‍රතිපත්ති සක්‍රිය කිරීම සඳහාය. සියයට 3ක ඡන්ද ප්‍රතිශතයක් ලබා සිටි ජනතා විමුක්ති පෙරමුණ, බහුජන සංවිධාන, විවිධ වෘත්ති සහ සිවිල් සංවිධාන යනාදිය ඒකරාශි කරමින් ජාතික ජන බලවේගය නමැති දේශපාලන ප්‍රවාහය නිර්මාණය කරන ලද්දේ පසුගිය පාලන කාලවල ආර්ථික, සාමාජික හා සංස්කෘතික වශයෙන් වූ කඩාවැටීම නිවැරැදි කර ජනතා අභිලාෂ සාක්ෂාත් කරගැනීමේ අරමුණ ඇතිවය. ජාතික ජන බලවේගය 68 ලක්ෂයක ජනවරමක් ලබා ගැනීමෙන් පිළිබිඹු වන්නේ, පැවැති ආර්ථික හා සමාජ ව්‍යුහයන්ගේ බරපතළ වෙනසක අවශ්‍යතාව පුරවැසියන් පිළිගෙන ඇති බවය. ඒ බව අනෙක් විපක්ෂ කණ්ඩායම් අවබෝධ කරගත යුතුය.

 

සැබෑ ජනමතය

ජනතාවගෙන් කිසියම් ප්‍රමාණයක් ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයේදී විපක්ෂ කණ්ඩායම්වලට ඡන්දය ලබාදෙන ලද්දේ ඔවුන්ගේ මැතිවරණ පොරොන්දුවල වැදගත්කම නිසාම නොවේ. පසුගිය කාල සීමාවලදී බලය ලබාගැනීමෙන් පසු මැතිවරණ පොරොන්දු වාෂ්ප වී ගිය අයුරු ජනතාව හොඳාකාරව දනිති. එම පක්ෂවලට යම් බලයක් ජනතාව විසින් ලබාදෙන ලද්දේ හුදෙක් එම පක්ෂවල ප්‍රතිපත්ති පිළිබඳ පැහැදීමකින් හෝ විශ්වාසයකින් නොවේ. දශක ගණනාවක් පැවැති පුද්ගල සබඳතා, ජාතිවාදි සහ ආගම්වාදි උමතුව, ඔවුන්ට පෞද්ගලිකව ලැබුණු වරප්‍රසාද තවදුරටත් ලබා ගැනීමේ අවශ්‍යතාව, වංචා දූෂණ, අපරාධ සම්බන්ධ පිරිස්වලට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමෙන් තොරව නිදහසේ සිටීමට අවස්ථාව ලබාදීම, කෘතගුණ සැලකීම මෙන්ම කලක් තිස්සේ පැවැති පුද්ගල සබඳතා හේතු කරගෙන ඇති වූ මානසික වහල්භාවය යනාදි සාධක නිසාය.

එසේ ඡන්දය දුන් අය අතර සුළු පිරිසක් කිසියම් හැඟීමකින් ඡන්දය භාවිත කරන ලද අය විය හැකිය. විපක්ෂ කණ්ඩායම්වලට ලැබුණු ඡන්ද ප්‍රතිශතය පැහැදිලි ජාතික වැඩපිළිවෙළක් පිළිබඳ අවබෝධයෙන්, අභිමානවත් දේශයක් ගොඩනැගීමේ අරමුණෙන් දෙන ලද ඒවා නොවනු ඇත. එතෙක් බලයේ පැවැති ඇතැම් ප්‍රධාන පක්ෂවලට මැතිවරණ ආසනයක් ජයග්‍රහණය කිරීමට නොහැකි වූ අතර, රටෙහි සමස්ත ඡන්ද ප්‍රතිශතයෙන් ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රී ධුරයක් හෝ දෙකක් පමණක් ලැබුණි.

රටෙහි පුරවැසියන්ගේ සැබෑ ජනමතය පිළිබිඹු වන්නේ ජාතික ජන බලවේගයේ ඡන්ද ප්‍රතිශතයෙනි. ඒ බව විපක්ෂය නිහතමානිව පිළිගත යුතුව ඇත. සැබැවින් විපක්ෂය කළ යුතු වන්නේ බහුතරයක් ජනතාව බලය ලබාදුන් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර, රට සංවර්ධන මාවතකට ගෙන යාමට රජයට සහාය දීමයි. එසේම, ප්‍රකාශිත ප්‍රතිපත්ති මාලාවෙන් බැහැරව හිතුවක්කාරිව කටයුතු කරන සෑම අවස්ථාවකම සාධනීය විවේචන ඉදිරිපත් කරමින් රජය නියම පීල්ලට ගැනීම වගකිව යුතු දේශපාලන විපක්ෂයක කාර්යභාරයයි. 

 

විපක්ෂයේ කාර්යභාරය

ලෝකයෙහි සංවර්ධිත රාජ්‍ය හා සම මට්ටමකට ශ්‍රී ලංකාව පත් කිරීමට අවශ්‍ය සහාය දැක්වීම සෑම පුරවැසියකුගේම වගකීමයි. එම වගකීම් විශිෂ්ට ජනවරමක් මගින් පුරවැසියන් රජය වෙත පවරා ඇත. එබැවින්, පක්ෂ - විපක්ෂ කණ්ඩායම්වල කාර්යභාරය විය යුත්තේ අභිමානවත් සංවර්ධිත දේශයක් ගොඩනැගීමට රජයට සහාය දැක්වීමයි. එයට සහාය දැක්වීමට අකැමැති නම් කළ යුත්තේ මහජන අභිවෘද්ධිය වෙනුවෙන් රජය ගන්නා ක්‍රියාමාර්ගවලට අකුල් නොහෙළා, බොරු අවලාද මගින් ජනතාව නොමග යැවීම නොවේ. එවැනි අවලාදවලින් කිසියම් සතුටක් ලබන පුරවැසියන් සිටිත් නම්, විපක්ෂ කණ්ඩායම්වලට ඡන්දය දුන්, නොදුන් සියලු‍ දෙනාට සම සේ රජයේ සංවර්ධන ප්‍රතිලාභ ගලාගෙන එන බැවින් ඔවුන්ට විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයන්ට මෙය රජය පෙරළා දැමීමට අවශ්‍යතාවක් පැනනගින්නේ නැත. ඔවුන් ඉදිරි සිවු වසර නිමා වන තෙක් බලා සිටිනු ඇත.

අතිමහත් ජනවරමකින් බලයට පත් රජයක් මාසයකින් දෙකකින් පෙරැළීමට ගණන් බැලීම අපරිණත දේශපාලනය ප්‍රදර්ශනය කරන්නකි. රජයට ජනවරමින් ලබා දුන් ආයු කාලය තුළදී ජනතා අභිලාෂ ඉටුකරන්නේ ද නැද්ද යන්න පිළිබඳ ඉවසීමෙන් සංයමයෙන් සිටීම ප්‍රඥාගෝචරය. වත්මන් තරුණයන් ඇතුළු සමස්ත ජනතාව බුද්ධියෙන් සහ ව්‍යවහාර ඥානයෙන් දේශපාලනඥයන්ට වඩා ඉදිරියෙන් සිටිති. දේශපාලන භූමියේ අනාගතයක් ඇත්තේ බුද්ධිමත්ව තර්ක-විතර්ක ඉදිරිපත් කරන දේශපාලනඥයන්ට මිස ආණ්ඩුවේ ගමන් මගට පදනම් විරහිතව අභියෝග කරන දේශපාලනඥයන්ට නොවේ. වත්මන් විපක්ෂය තුළදී වෛරයෙන් ද්වේශයෙන් තොරව රජයේ ප්‍රතිපත්ති පිළිබඳව සාධනීය විවේචන ඉදිරිපත් කරන විපක්ෂ මන්ත්‍රීවරු අතළොස්සක් ද සිටිති.

 

දේශපාලන පළිගැනීම් පිළිබඳ රාව-ප්‍රතිරාව

විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ පරාජිත දේශපාලනඥයන් මේ දිනවල රාව-ප්‍රතිරාව කරන වචනයකි, දේශපාලන පළිගැනීම් යන්න. වත්මන් රජය යටතේ දේශපාලන පළිගැනීම්වලට තමන් ලක්වන බව ඔවුහු පවසති. දේශපාලන පළිගැනීම් යන්න පසුගිය රාජ්‍ය පාලකයන් විසින් දශක හතක් පමණ කාලයක් පෝෂණය කර සමාජගත කරන ලද්දකි. දේශපාලන පළිගැනීම් යනු නීති විරෝධි ක්‍රියාවල නිරතවූවන් අධිකරණයට ඉදිරිපත් කිරීම නොවේ. බලයට පත් පක්ෂවල මැති ඇමැතිවරුන් තමන්ගේ දේශපාලන බලය අවියක් කරගනිමින් පවත්නා නීතියට හා ස්වාභාවික යුක්ති ධර්මයට පටහැනිව විරුද්ධ පාක්ෂිකයන් විවිධ හිංසනයට පීඩාවට පත් කිරීමයි.

විරුද්ධ පාක්ෂිකයන් සාපරාධි ලෙස ඝාතනය කිරීම, පැහැරගෙන යාම, රජයට විරුද්ධ මත දරන මාධ්‍යවේදින් අතුරුදන් කිරීම, පහරදීම, මාධ්‍ය ආයතන ගිනිබත් කිරීම වැනි දෑ දේශපාලන පළිගැනීම්ය. මෙවැනි පිළිගැනීම් පසුගිය පාලන කාල සමයවල සුලබව දක්නට ලැබුණි. ඒවා පවත්නා නීතිය අමු අමුවේම උල්ලංඝනය කරමින් කරන ලද සාහසික අපරාධය. විරුද්ධ දේශපාලන මත දැරීමට පුරවැසියාට ඇති අයිතිය ප්‍රජාතන්ත්‍රවාදි ආණ්ඩුක්‍රමයක මූලික ලක්ෂණයකි. මැතිවරණයකින් ජයගත් පක්ෂයක් මැතිවරණ ව්‍යාපාරවලදී විරුද්ධ දේශපාලන ක්‍රියාකාරකම්වල නිරත වූ රාජ්‍ය සේවකයන් සේවයෙන් පහ කිරීම, උසස් වීම් අත්හිටුවීම, සේවා ස්ථානවලින් දුෂ්කර ප්‍රදේශවලට මාරු කිරීම යනාදිය කරන ලද්දේ පරිපාලන නීති රීති උල්ලංඝනය කරමිනි.

මැතිවරණයකින් ජය ගත් පසු බලයට පත් රජයේ දේශපාලනඥයන්ගේ අනුදැනුම ඇතිව විරුද්ධ පක්ෂවලට පහරදීම, නිවාස දේපළ විනාශ කිරීම වැනි පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සුලබ ඉතිහාසයක් අප සතුව ඇත. 1977 මහ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු එ.ජා.ප.ය පොලිසියට සතියක් නිවාඩු දී විරුද්ධ පාක්ෂිකයන්ගෙන් පළිගත් අවස්ථාව ප්‍රකට කරුණකි. මෙබඳු ප්‍රචණ්ඩ ක්‍රියා නීතිය උල්ලංඝනය කරමින් දේශපාලන බලපුළුවන්කාරකම් මත සිදු කළ දේශපාලන පිළිගැනීම්ය. එබඳු පශ්චාත් මැතිවරණ ක්‍රියාවලට මුළුමනින්ම විරාමය තබන ලද්දේ ජාතික ජන බලවේග රජයයි. පසුගිය ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණයෙන් පසු කිසිදු දේශපාලන පළිගැනීම් හෝ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් වාර්තා වූයේ නැත. එය සාමකාමි මැතිවරණ සමයක් වීම සුබ ලකුණකි.

මහජන මුදල් සාපරාධි ලෙස අවභාවිත කිරීම, අල්ලස් ගැනීම සහ වෙනත් සාපරාධි අපරාධවලට සම්බන්ධ දේශපාලනඥයන්ට වත්මන් රාජ්‍යයේ පවත්නා නීතිය අනුව නඩු ගොනු කර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන කල්හි දේශපාලන පළිගැනීම් කරන්නේ යැයි ප්‍රකාශ නිකුත් කෙරෙන ආකාරයක් දක්නට ලැබේ. දේශපාලනඥයන් පමණක් නොව අල්ලස්, දූෂණ, වංචා සහ අපරාධ ආදියට සම්බන්ධ රජයේ නිලධාරින්ට විරුද්ධව ද නඩු විභාග වන අතර, ඇතැම් නිලධාරිහු දැනටමත් දඬුවම් ලබා සිටිති. එතෙක් එම එකදු සිවිල් පුරවැසියකු වත්මන් රජය යටතේ තමන් දේශපාලන පළිගැනීම්වලට ලක්වී ඇතැයි පවසන්නේ නැත.

 

නීතිය හමුවේ නිර්දෝෂභාවය සනාථ කිරීම

නීත්‍යනුකූල නොවන ක්‍රියාවල යෙදුණු පුද්ගලයන්ට එරෙහිව නීත්‍යනුකූලව ක්‍රියා කිරීම ස්වාභාවික නීතියයි. ඔවුන් වැරැදිකරුවන් ද නිවැරැදිකරුවන් ද යන්න විනිශ්චය කරනුයේ අධිකරණයයි. චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කර ඇත්නම් එය පදනම් සහිත ද, විරහිත ද, දේශපාලන පළිගැනීමක් ද, සාපරාධි අපරාධයක් ද යන්න විනිශ්චය කරන්නේ අධිකරණයයි. රටක් සවිබල ගැන්වීම සඳහා පළමුකොටම නීතිය සවිබල ගැන්විය යුතුය. මහජනතාවගේ අපේක්ෂාව ද රටෙහි පවත්නා නීතිය උල්ලංඝනය කරමින් අපරාධවලට සම්බන්ධ වූ පුද්ගලයන්ට තරාතිරම නොබලා නීතිය සාධාරණව ක්‍රියාත්මක වනු දැකීමය. ආණ්ඩුවේ ජනවරම වන්නේ ද එයයි.

(*** මහාචාර්ය සුසිරිපාල මානවඩු)