මගේ කටහඬ නෑඹුලින් ගුවනට උරුම කළ තිලක සුධර්මන් ද සිල්වා නම් මාධ්‍ය මහාශයාහට ඔහු ජීවතුන් අතර සිටියදීම කළ ගුණ පිණිස කිසිදු ගුරුපුදක් පිරිනැමුමට අවස්ථාවක් නොලැබීම ගැන අදද මම බලවත් ලෙස ශෝක වෙමි. ළතැවෙමි. එහෙත් ඔහු මිය පරලොව යෑමෙන් කලකට පසු මවිසින් ලියා පළ කරන ලද 'සෞන්දර්ය අධ්‍යාපනය ; ගුවන්විදුලි මාධ්‍යය සහ නිර්මාණාත්මක සන්නිවේදනය' නම් ග්‍රන්ථය , කළ ගුණ සිහියට නගාගෙන , මගේ ඒ අධ්‍යාත්ම
බන්ධුවර තිලක සුධර්මන් ද සිල්වා මහාශයාණන්හට සමර්පණය කළේ මෙසේ ගුණ කීර්තනය කරමිනි.
"මගේ කටහඬ හා නම ගුවන් විදුලියේ තම ළමා වැඩසටහන මගින් පළමුවරට රටට අස්වා දෙවනුව මගේ ගුවන්විදුලි ජීවිතය සරු කළ , ගුවන් විදුලියට තිලකයක්ව සිට මෙලෝ හළ මගේ ඉටු මිතුරු තිලක සුධර්මන් ද සිල්වා සහෘදයාණන්ගේ ඒ හෘදයංගම නාමයට මේ පොත උපහාරයක් වේවා!"
ගුවන්විදුලි ඉතිහාසය කෙරෙහි සිත යොමු කරන විට ගුවන්විදුලිය අතිශය ශෝභමානව හා අභිමානව පවත්වනු වස් තම උගත්කම , ඇසූ පිරූ තැන් ඇති කම , අත්දැකීම , අලුත් අලුත් දෑ සිතීමට හා බිහිකිරීමට තිබූ හැකියාව ආදිය නොමසුරුව දායාද කළ විශිෂ්ට ගණයේ පරිණත මාධ්‍ය විශාරද පරපුරක් අපගේ සිහියට නැගෙන්නේ ඉබේය. තම කුසෙන් වදා , තම දෙතනින් ලේ කිරි දී හදා වඩාගත් පුතෙකු කිසියම් මවකගේ විළිබිය සිඳින්නට ඉදිරිපත් වෙතොත් ඔහු තරම් පාපතරයෙක් තවත් ඇද්ද?
තම .මව්කුසින් බිහිව , ගුවන්විදුලි මව් කිරෙන් වැඩුණු පුතුන් අතර එවැනි පාපතරයන් පහළවීම රටටම සාපයකි.
මා කලින් සඳහන් කළ පරිණත ගුවන්විදුලි මාධ්‍ය විශාරද පරපුර අතර තිලක සුධර්මන්ද සිල්වා සහෘදයාණෝ එකල ගුවන්විදුලියට තිලකායමාන වූහ. ඔහු සතුව පැවැති නිර්මල රුචිය , නිර්මාණ ශක්තිය , වාක් පෞරුෂ්‍යය හා විචිත්‍ර ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදනයෙහිලා ඔහු දැක්වූ අපූර්ව කෘතහස්ත භාවය කරණකොට ගෙන එදා ගුවන්විදුලිය අතිශය ශෝභමාන වූ හෙයිනි.
නිවේදනය හා ප්‍රවෘත්ති ප්‍රකාශනයෙහිලාද රහස් පරීක්ෂක නාට්‍ය සහ ගුවන්විදුලි රඟමඩල ඔස්සේ ප්‍රචාරය වුණු නාට්‍ය මෙන්ම විචිත්‍රාංග නිෂ්පාදනයෙහිලාද සූධර්මනුන් විදහා පෑ අනන්‍ය ශූරත්වය ගුවන්විදුලියට කීර්තියක්ම අත්පත්කර දුනි. එහෙයින්ම ඔහු ගුවන්විදුලියෙන් බැබළුණු නොසමතුන් රැසට නොව ගුවන්විදුලිය බැබළවූ සමතුන් අතළොස්සට අයත් වූවෙකි.
සුධර්මන් ද සිල්වාණන්ගේ ගුවන් විදුලි සන්නිවේදන සම්ප්‍රදානයේ අග්‍ර ඵලය ලෙස හැඳින්විය හැකි විශිෂ්ට සඟරා වැඩසටහනක් හය වන දශකයේ මෙරට ගුවන්විදුලි ශ්‍රාවකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත්විය. එය වූකලී ඔහුගේ කල්පනාවෙන් මැවී , ඔහුගේම නමක් ලැබ , අපූර්ව රසයක් සවන් දෝතින් බිබී තොස්වීමේ භාග්‍යය ශ්‍රාවකයන්හට උරුමකර දුන් ප්‍රශස්ත වැඩසටහනකි.
එකල සෑම සතියේ දිනකම රාත්‍රියේ තරුණ අප ගුවන්විදුලියේ 'නුගහෙවණ' යටදී නොවරදවා මුණගැසීමට පුල පුලා බලා සිටියේ අපමණ ආශාවෙනි. තිලක සූධර්මනුන්ගේ මනෝදරුවෙක් වූ එම ගුවන්විදුලි සඟරා වැඩසටහන උදෙසා ඔහු නිපදවූ 'නුගහෙවණ' යන සංඥා නාමයද අතිශය අර්ථවත් සංකේත නාමයකි. එම වැඩසටහන සඳහා ඔහු තෝරාගෙන තිබුණු භාවපූර්ණ සංඥා වාදනයද එකී සංඥා නාමාර්ථයට මෙන්ම එහි අන්තර්ගත විවිධාංගයන්ටද අත්‍යන්තයෙන්ම අනුකූල වූවකි. ගුවන්විදුලියේ ඒ සෞභාග්‍යසම්පන්න කාල පරිච්ඡේදයේ තිලක සුධර්මනුන්ගේ 'නුගහෙවණ' සඟරා වැඩසටහනෙන් රසාස්වාදය හා පරිඥානය ලැබූ ශෝත්‍රෑ ජනයාගේ ස්මෘති අවකාශය සිසාරා තවමත් ඒ හාවාත්මක සංඥාවාදන රාවය ඒක නින්නාද වනු ඒකාන්තය.
වත්මන් ජාතික රූපවාහිනී නාලිකාව ඔස්සේ 'නුග සෙවණ' නමින් ප්‍රචාරය වන වැඩසටහන අසන දකින අය මෙන්ම ඒවා කරන කරවන අයද අතරින් කීදෙනෙකු , එදා තිලක සුධර්මන් ද සිල්වාණන් , එකම ගුවන්විදුලිය ඔස්සේ නෑඹුල්ව නොඉඳුල්ව විකාශනය කළ ඒ ප්‍රශස්ත 'නුග හෙවණ' සඟරා වැඩසටහන ගැන දනිතිදැයි නොදනිමි.
තම ළමා පිටියෙන් පළමු වරට ගුවන්විදුලි අසන්නන්ට මා හඳුන්වා දුන් තිලක සුධර්මනුන් පසු කලෙක මා ගුවන්විදුලි මාධ්‍යයට බද්ධ කළේ මා තුළ සැඟව පැවති රචන හා රංගන කුසලතා බීජ අපමණ උනන්දුවෙන් නිරික්සමින් ඒවා පොබයාලමිනි. ඔහු ඉදිරිපත් කළ ළමා පිටියට මෙන්ම ඔහු විසින් එකල නිෂ්පාදිත රහස් පරීක්ෂක නාට්‍යයට හා වෙනත් විචිත්‍රාංග වැඩසටහන්වලටද රචනයෙන් හා චරිත නිරූපණයෙන් සහභාගිවීමට මා නොමඳ ලෙස අවස්ථාව ලද්දේ එහි ඉෂ්ට ප්‍රතිඵලයක් වශයෙනි.
තිලක සුධර්මනුන් හය වන දශකයේදී ගුවනින් ඉදිරිපත් කළ
'නුග හෙවණ' සඟරා වැඩසටහන වූකලී වෛවර්ණාංගයන්ගෙන් සජ්ජිත ප්‍රශස්ත ගණයේ රස චෂකයක් විය. නමෝ විත්තිය
'ළමා පිටිය' මගින් මා හඳුනාගත් සුධර්මන් අයියා 'නුග හෙවණ' යුගය වන විට මගේ ඉතා කුලුපග මිතුරෙකු බවට පත්ව සිටියේය. මුලදී 'නුග හෙවණ' ශ්‍රාවකයන්ව සිටි සම වයසේ යෞවන විද්‍යාර්ථීන් පිරිසක් පසු කල 'නුග හෙවණ' සමග නිත්‍ය ලෙස බද්ධ වූ රචක හා නිරූපක පිරිසක් බවට පත්ව ගියේ තිලක සුධර්මනුන්ගේ ආදරණීය ආරාධනය කරණකොට ගෙනය.
එකල විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ ප්‍රථම ශිෂ්‍ය කණ්ඩායමේ උපාධි අපේක්ෂකයන්ව සිටි සුනන්ද මහේන්ද්‍ර , ජයසුමන දිසානායක , උබයසිරි විජයනන්ද වික්‍රම , ජයසුන්දර බෝකොළමුල්ල , වර්නන් මාපිටිගම , බොරැල්ලේ ආයුර්වේද වෛද්‍යවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යයෙකුව සිටි ස්වර්ණ ශ්‍රී බණ්ඩාර ,
මහා බැකුවේ විනිමය පාලන අංශයේ සේවය කළ ආනන්ද කේ. විජයතුංග (පසු කලෙක බණ්ඩාර විජයතුංග) , ඇරැව්වල මහා විද්‍යාලයේ ගණිත උප ගුරුවරයෙක් වූ හේමරත්න ලියනආරච්චි , විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට අපේක්ෂාවෙන් හුන් අශෝක කොළඹගේ හා මා ඇතුළු අපි සියලු දෙන එදා තිලක සුධර්මනුන්ගේ
'නුග හෙවණ' ගුවන්විදුලි සඟරා මධුකෝෂය පිරිවරා සිටි නිත්‍ය රචක නිරූපක මධුකර නිකරයක් වීමු.
ගුවන්විදුලියේ කීර්තිමත් යුගයක් ලෙස සැලකෙන , එම් . ජේ . පෙරේරා (පළමු වන ලාංකික ගුවන්විදුලි අධ්‍යක්ෂ ජෙනරාල් ) පාලන සමයේදී තිලක සුධර්මන්හු උසස් අධ්‍යාපනයෙහි නිරත පාසල් ශිෂ්‍යයෙකි. බොරැල්ලේ වෙස්ලි විද්‍යාලයේ විද්‍යාර්ථියෙකුව සිටි එම කාලයේම ඔහු සුනිල් සාන්තයන් වෙත ගොස් සංගීතයද හැදෑරීය. සාහිත්‍යය සහ සංගීතය පිළිබඳ උසස් රුචියක් තමා තුළ ඇති කිරීමෙහිලා සුනිල් සාන්තයන්ගෙන් ලත් ආලෝකය සුධර්මනුන් නිරන්තරයෙන් සිහිපත් කළේ අතිශය කෘතවේදී හැඟීමෙනි.
එකල ඔහු වත් පිළිවෙතක් රකින්නාක් මෙන් නොපිරිහෙළා ඉටු කළ එක්තරා කාර්යක් විය. එනම් ගුවන්විදුලියෙන් ප්‍රචාරය වන විවිධ වැඩසටහන්වලට සතතයෙන් සවන් දී ඒවායෙහි පැවැති ගුණ දෝෂ පිළිබඳ විවේචන වරින් වර එම්.ජේ.පෙරේරා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නමට ලියා යැවීමයි. එක්තරා දිනක ඔහුගේ නමට ගුවන් විදුලි අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් ලියුමක් ලැබුණි. ගුවන්විදුලි ආයතනයට පැමිණ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා මුණ ගැසෙන ලෙසට කළ ආරාධනයකි ඒ.
තිලක සුධර්මන් විද්‍යාර්ථියා නියම දින නියම වේලාවට ගුවන්විදුලි කාර්යාලයට ගොස් අධ්‍යක්ෂ ජෙනරාල් එම්.ජේ. පෙරේරා මහතාගේ කාමරයට ඇතුළු වූයේ බලවත් චකිතයකිනි. එහෙත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඔහු පිළිගත්තේ ඉතා සුහද ලීලාවෙනි. කතා කළේද හෘදයංගම ස්වරයකිනි.
"අපේ ගුවන්විදුලි වැඩසටහන් දියුණු කිරීම සම්බන්ධයෙන් ඔබ දක්වන උනන්දුව මං හුඟක් අගය කරනවා. ඔබ මගේ නමට එවාපු හැම වැඩසටහන් විවේචනයක්ම මම බොහොම සැලකිල්ලෙන් කියවා බැලුවා. අපිට අවශ්‍ය ඒ වගේ විවේචන තමයි. බොරුවට වර්ණනා කරන ඒවා නෙමෙයි. මම ඒවා ගැන මගේ නිලධාරින් එක්ක සාකච්ඡා කළා. ඔබ ඉදිරිපත් කරලා තිබුණු වැදගත් යෝජනා ගැන මම ඒ අයගේ අවධානය යොමු කළා. මම අද ඔබට මාව මුණ ගැහෙන්න එන්න කිව්වේ ඔබේ විවේචන අගය කරන්න , ඒ විවේචන ගැන ඔබට ප්‍රශංසා කරන්න විතරක් නෙවෙයි. මං ඔබට අද එන්න කිව්වෙ ඔබට විශේෂ යෝජනාවක් කරන්න. ඔබ කැමති නැද්ද ගුවන්විදුලියට බැඳිලා සේවය කරන්න. ගුවන්විදුලි වැඩසටහන්. දියුණු කරන්න අවංකව උනන්දු වෙන අය ඉන්න ඕනැ ගුවන් විදුලියෙන් පිට නෙවෙයි ඇතුළෙ."
තිලක සුධර්මන් ද සිල්වාණෝ තම උසස් අධ්‍යාපනය අතහැර ගුවන් විදුලියට බැඳීමට තීරණය කළහ. ඒ වන විට පවා සිංහල බස පමණක් නොව ඉංග්‍රීසි බසද මනාව ග්‍රහණය කරගෙන සිටි සුධර්මන්හු , විශ්වවිද්‍යාල උපාධියක් නොලද්දෙකු වුවද , පසුව , උසස් දෙස් විදෙස් පොතපත නිරන්තර පරිශීලනයෙන් , මනා බහුශ්‍රැත භාවය , උචිතානුචිත විවේක ඥානය හා තීක්ෂ්ණ විචාර බුද්ධිය ලද්දෙකු බවට පත්වීමට සමත් වූහූ. ඔහු තුළ පැවති අදීන චින්තනය , නිර්මාණ පරිකල්පනය හා රසකාමිත්වය වූකලී තත් චරිතාංගයන්ගේ සමවායෙන් උපන් අභීෂ්ට ඵල සම්පතක් ලෙස හැඳින්වීම කවර වරදද?
තිලක සුධර්මන් ද සිල්වාණන් , බහුශ්‍රැත , නිර්මාණාත්මක , රසාත්මක මාධ්‍ය ප්‍රාඥයෙකු ලෙසින් , පසු කලෙක , ගුවන්විදුලිය බැබළවීමට සමත් වීමෙන් මනාව සනාථ වන්නේ , එම්.ජේ .පෙරේරා මහාශයාණන් , එදා ගුවන්විදුලි අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වශයෙන් තිලක සුධර්මනුන් අරබයා කළ විශිෂ්ට විනිශ්චයේ මහිමය නොවේද?
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ගුවන්විදුලියට තිලකයක් වන් තිලක සුධර්මන්: මගේ ගුවන්විදුලි මතකය (3)