IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


මගේ ගුවන්විදුලි මතකය (2)

මතක සහ මතය

 

එකල මෙකල මෙන් ගුවන්විදුලි ආයතනය ඉදිරිපිට ඇති මහ පාර වසා නොතිබුණි. එදා එය ප්‍රසිද්ධ වූත් ප්‍රධාන වූත් බස් පාරකි. ඒ මග ඔස්සේ එදා දිව ගියේ 116 සහ 195 යන රූට් නොම්මර දෙකේ බස්ය. 116 රූට් නොම්මරයෙන් තට්ටු දෙකේ බස් දිවූ අතර රූට් 195 තනි තට්ටුවේ බස් වලට සීමා විය. එදා පැවති 116 බස් මග මා ගැනම සිතා සැකසුණක් වැනි විය. මක්නිසාද යත් 116 බසය ගමන් ගත්තේ එකල මා නිතර ගැවසුණු වෙසෙස් තැන් තුනක් පසුකොට බැවිනි. ඒ තුන් තැන වනාහි කළුබෝවිල මගේ මහගෙදර , ගුවන්විදුලි මධ්‍යස්ථානය හා ජනදින පුවත්පත් ආයතනයයි.

එකල මා සේවය කළේ ආචාර්ය එන්. එම්. පෙරේරා සහෝදරයා පාලන භාරය ඉසුලූ 'ජන දින' පුවත්පත් ආයතනයේය. එය පිහිටි⁣යේ සන්තබස්තියමේ පැරණි ඕලන්ද උසාවි ගොඩනැගිල්ලට හා
අධිකරණ කොමිෂන් සභා කාර්යාල ගොඩනැගිල්ලට නුදුරුවය. 'ජන දින' කන්තෝරුව පැවති දෙමහල් ගොඩනැගිල්ලට අල්ලපු කුඩා ගොඩනැගිල්ලක එකල 'ලන්ඩන් විද්‍යාලය' නමින් තැපැල් මාර්ගික අධ්‍යාපන ආයතනයක් විය. පසු කල මෙලක කීර්තිමත් ප්‍රබන්ධ කර්තෘවරයෙකු මෙන්ම සාහිත්‍ය ධරයෙක්ද වූ කේ.ජයතිලකයන්ගේ ජීවන පදවීතිහාරයේ ආරම්භක භූමිය වූයේ එතැනය. එකල පුවත්පත් කලාවේදීන් හා ලේඛකයන් නිරන්තරයෙන් මධු මද මුදිතව අල්ලාප සල්ලාපයේ හා වාද විවාදයේ යෙදුණු සුන්දර සන්ථාගාරයක් වන ක්‍රවුන් හෝටලය විරාජමාන වූයේ කේ.ජයතිලකයන්ගේ ලන්ඩන් විද්‍යාලයට යාබදවය.
දිනපතා උදේ කළුබෝවිලින්
116 බසයට නගින මා ගුවන්විදුලි මධ්‍යස්ථානය පසුකොට ගොස්

'ජන දින' පුවත්පත් ආයතනය වෙත යාමට ඉන් බසින්නේ ටෙක්නිකල් කොලීජිය පිහිටි හන්දියෙනි. එසේ බසින මගේ ඇසට කොළඹ දෙසින් එන බසයකින් විත් එතැන බසින දුර්ලභ ගණයේ මහා පඬිවරයෙකුගේ රුව නිරන්තරයෙන් දෘශ්‍යමාන වෙයි. එතරම් නූස් , නොමහත් සිරුරින් සැදි , සුදු කලිසම් කබා හැඳි , ටයි පටියක් ගෙල බැඳි , මඳක් අවුල්ව ගිය සුදු කෙසින් හා පහන් සිවි පැහැයෙන් යුත් ඒ රුව අනිකෙකුගේ නොව බුද්ධ ධර්මය හා පාලි භාෂාව පිළිබඳ ප්‍රාමාණික ප්‍රාඥ ඒ.පී.ද සොයිසා මහාශයන්ගේය. ඔහුගේ 'ධර්ම සමය' කාර්යාලය සහ යන්ත්‍රාලය පිහිටියේ සන්තබස්තියම් කන්ද පාරේ වූ ලැටිස් ගෙවල් පේලියකට අයත් ගේකය.

ගුවන්විදුලි සංස්ථාව ඉදිරිපිටින් දිවෙන , දැන් බස් නොදිවෙන පාරේ අනිත් පැත්තේ එම ගොඩනැගිල්ලට මුහුණලා අද පිහිටා ඇත්තේ රූපවාහිනී සංස්ථාවය. එම පාර මෑතකදී 'ප්‍රේමකීර්ති ද අල්විස් මාවත' ලෙස නම් කෙරුණි. එය වූකලී ලිපිනයන් සහිත ගෙවල් දොරවල්වලින් තොර හුදු නාම මාත්‍ර අනුස්මරණ මාවතක් පමණි. එය දැන් එකී උභය සංස්ථාවන් වෙත එන යන අයට තම වාහන සුරක්ෂිතව නවතා තැබීමේ භාග්‍යය අත්පත් කර දෙන භූමි භාගයක් බවට පත්ව ඇත.

අද රූපවාහිනී සංස්ථාව පිහිටා ඇති තැන එදා තිබුණේ දිගු පුළුල් රමණීය තණ බිමකි. එහි නිදහස් චතුරස්‍රය පැත්තේ කෙළවරෙහි ශාලාවක් සහ කාමර කීපයක් සහිත ගොඩනැගිල්ලක් විය. එය එකල හැඳින්වුණේ 'කාන්තා හොකී ක්‍රීඩා සමාජය' (Ladies Hockey Club) යන නමිනි. එකල එම තණ බිමේ බුලස් පාර (අද බෞද්ධාලෝක මාවත) පැත්තේ කෙළවරේ පිහිටි උස් විසල් නුග රුක මගේත් මගේ සමකාලීන ගුවන්විදුලි මිතුරන්ගේ සහ හිතවතුන්ගේත් අතීත අමර සැමරුම් පොබයා ලමින් අදද එහි ප්‍රතාපවත් වනස්පති රාජයෙකුගේ විලාසයෙන් අභිමානවත් ලෙස විරාජමාන වන්නේ කවර පුණ්‍ය මහිමයක් නිසාදැයි නොදනිමි. කොන්ක්‍රීට් ප්‍රාසාදයන්ගේ ප්‍රාදූර්භාවය සමග සත්පුරුෂයන් හා සමාන වෘක්ෂ රාජයන්ගේ විනාශ භාවය ඒකාන්ත වන හෙයිනි

සනාතන සත්‍යයක් සනාථ කරන අගනා සංස්කෘත ශ්ලෝකයක් මෙවේලේ මගේ සිහියට නැගෙයි.


ඡායාමන්‍යස්‍ය කූර්වන්තී

තිෂ්ඨන්ති ස්වයමාතපේ

ඵලාන්‍යපි පරාර්ථාය

වෘක්ෂාඃ සත්පුරුෂාඃ ඉව

එහි සරල භාවාර්ථය මෙසේය.

තමා අව්වේ තැවෙමින් අනුනට සෙවණ ඇති කරයි. ගෙඩිද දෙන්නේ අනුන්ගේ යහපත පිණිසමය. ඒ අනුව වෘක්ෂයෝ සත්පුරුෂයන් හා සමානයහ.


මිනිසුන් අතර අද එකී වෘක්ෂයන් හා සමාන සත්පුරුෂයන් සුලභ වෙතියි කාට නම් කිය හැකි වේද?

අද පරපුරේ වෙසෙන වැඩි දෙනෙකු නොදනිතියි සිතෙන තවත් වැදගත් තැන් දෙකක් ගුවන්විදුලි සංස්ථාව පසෙකින් හා රූපවාහිනී සංස්ථාව පසෙකින් පිහිටා ඇත ඒ වූකලී මහා මන්දිර යුග්මයකි. ඉන් එකක අද මහාභාරකාර කාර්යාලය පිහිටා ඇත. අනික් මන්දිරය තුළ අන්තර් ජාතික පාසලක් පැවැත්වේ.

විසි වන සියවසේ මේ රටේ ක්ෂේත්‍ර දෙකක අත්‍යන්ත කීර්තියට පාත්‍රව සිටි පුරුෂ ශ්‍රේෂ්ඨයන් දෙදෙනෙකුගේ
වාස භවනයන් බවට පත්වීමට වාසනාව ලද මේ අලංකාර මන්දිර යුග්මය අදද පෙර වූ අයුරින්ම විරූප නොවී විරාජමාන වීමට අර කාන්තා හොකී ක්‍රීඩා සමාජ භූමියේ උස් විසල් නුග රුක සේම වාසනාවන්ත වී ඇත. කවර පිනකින් දැයි නොදනිමි.

රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභා නායක (එය එකල වත්මන් රාජ්‍ය නායක ධුරයට සමාන වූවකි.) වූද , භාෂාන්තර සමයාන්තර ඥානයෙන් සමන්විත දුර්ලභ පණ්ඩිතරත්නයක් වූද ශ්‍රීමත් ඩී.බී (ඩොන් බාරොන්) ජයතිලක මහාශයන්ගේ එකල නිල වාස භවන මෙකල මහා භාරකාර කාර්යාලය පිහිටි මනහර මන්දිරයයි. දැන් එය ඉදිරිපිට ගෙවුයනේ ජයතිලක ශ්‍රීමතාණන්ගේ ශරීර ප්‍රමාණයේ ප්‍රතිමාවක් අභිමානයෙන් විරාජමාන වෙයි. ගුවන්විදුලි සංස්ථාවට හා රූපවාහිනී සංස්ථාවට ඇතුළු වන ප්‍රධාන දොරටුව ඉදිරිපිට බෞද්ධාලෝක මාවත අයිනේ පිහිටි එම මැදුර දෑලෙන් බුලර්ස් පටු මග සහ ටොරින්ටන් මාවත විහිදෙයි.

ගුවන්විදුලි සංස්ථාවට හා රූපවාහිනී සංස්ථාවට පිවිසෙන ප්‍රධාන දොරටුව පසුකොට බම්බලපිටිය දෙසට යාර දහයක් පමණ ඇවිද ගිය විට වම් අත පැත්තේ දැකිය හැකි වාරිමාර්ග දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලට යාබද වත්තේ ඇත්තේ , දැන් අන්තර්ජාතික පාසලකට සෙවණ දෙන , සුන්දර විචර්ලි මන්දිරයයි. එය එංගලන්තයේ කොටේජ් ගණයේ නිවාසයක ස්වරූපයෙන් ඉදිකරන

ලද්දක්යැයි සිතමි. කීර්තිමත් ලාංකික වෛද්‍යවරයෙකු මෙන්ම මෙරට වැදි ජනතාව සමීපව ඇසුරු කොට ඔවුන්ගේ දිවි පෙවෙත හා සිත් සතන් මැනවින් දැන හැඳින ඒ අරභයා ඉංග්‍රීසි භාෂාවෙන් ග්‍රන්ථ රාශියක් (කෘතහස්ත පරිවර්තකයෙකු වන ඒ.පී.ගුණරත්නයන් විසින් සිංහලට නගන ලද 'වන සරණ' , 'මැකී ගිය දඩ මං' වැනි කෘතීන් ඊට නිදසුන්ය.) සම්පාදනය කළ සම්භාවනීය ලේඛකයාණන් කෙනෙක් වූද ආර්.එල්.ස්පිටල් මහත්මාණන් එකල සිය වාස භවන කොටගෙන සිටියේ එකී සුන්දර විචර්ලි මන්දිරයයි.

ගුවන්විදුලි සංස්ථාව දොරකඩ පාරේ නිදහසේ බස් දුවන කාලයේ රූපවාහිනී සංස්ථාවක් නොදිස්වුණි. ගුවන්විදුලි සංස්ථා පැරණි ගොඩනැගිල්ල මෙන්ම ඊට අයත් ඉදිරිපස අංගණයද එදා දිස්වූයේ අද දිස්නා ස්වරූපයෙන් නොවේ. මෙම රමණීය මන්දිරයට අපූර්ව අනන්‍ය ලක්ෂණයක් ආරෝපණය කළ එහි නිර්මාතෘවරුන් කෙරෙන් ප්‍රකට වුණු ස්වතන්ත්‍ර ගෘහ නිර්මාණ කලාව වර්තමාන මෝඝ පුරුෂයන්ගේ නීච රුචිය කරණකොටගෙන අද අත්‍යන්ත දූෂණයට පාත්‍රව ඇත.

සංස්කෘත සාහිත්‍යය බැබළවූ භර්තුහරි කවියාගේ නීති ශතකයේ එන සනාතන අගයක් ඇති ශ්ලෝකයක් මෙවේලේ මගේ සිහියට නැගීම කෙසේ වළකම්ද?

"සාහිත්‍ය සංගීත කලා විහීනඃ

සාක්ෂාත් පශුඃ පුච්ඡ විෂාණ හීනඃ

තෘණං නඛාදන්නපි ජීවමානස්

තද්භාගධේයං පරමං පශූනාම්"


(නීති ශතක - භර්තුහරි -12 වැනි ශ්ලෝකය)

එහි අර්ථය දැනගනිමු.

"සාහිත්‍ය සංගීත කලාවෙන් තොර තැනැත්තා අං වල්ග නැති ගොනෙකු වැනිය. ඔහු තණකොළ නොකෑම ගොනුන්ගේ වාසනාවකි".


නිදහස් චතුරස්‍රයට යාබද භූමියේ දැන් තිබෙන ගුවන්විදුලි මධ්‍යස්ථානය කෙසේ පහළ වූයේද යන්න දන්නා අය අද ඉතා විරල වන බැවින් ඒ පිළිබඳ ආදි තතුවලින් බින්දු මාත්‍රයක් වුව හෙළි කිරීම මැනවැයි හඟිමි. ඉහත කී බිම් කඩෙහි මුලින්ම ඉදි කිරීමට යෝජිත වූයේ නව මැදිරි හයක් සහ පාලන මැදිරියක් පමණි. ඒ . නඩරාසා සහ ඩී.පී.ජයසේකර යන ශූර ඉංජිනේරුවරුන් දෙදෙනා ඉදිරිපත් කළ සැලසුම් යෝජනා අනුව

ඒ සඳහා පැලෑන ඇඳ ඇත්තේ රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ (P.W.D.) ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියා විසිනි.

මැදිරි තුළ ශබ්ද පාලනය (acoustics) පිළිබඳ කාර්යන් නිම කළේ ඩී.පී. ජයසේකර ඉංජිනේරුවරයාය. ඩබ්ලියු . ඊ . ද සිල්වා ඉංජිනේරුවරයා අතින් නිම වූයේ කතා හා සංගීත විකාශන ක්‍රියාවලිය හා පාලන මැදිරියේ ක්‍රියාවලියයි.

නවීන පහසුකම්වලින් සජ්ජිත අභිනව ලංකා ගුවන් විදුලි මධ්‍යස්ථානය බිහි කිරීම උදෙසා තම ශූර ඉංජිනේරු ඥානය සහ ශ්‍රම ශක්තිය නොමසුරුව පරිත්‍යාග කළ ඉහත සඳහන් දේශීය ඉංජිනේරු ත්‍රිමූර්තිය ලංකා වාසී ජනතාවගේ අප්‍රමාණ සම්භාවනාවට පාත්‍ර විය යුතු නොවේද?

නඩරාසා සහ ජයසේකර ඉංජිනේරුවරුන් හා සාකච්ඡා කොට නව ගුවන්විදුලි මධ්‍යස්ථානයේ පළමු මැදිරි හය ඉදි කළ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියා ටී.එන්.විනී ජෝන්ස් (T.N.Wynne Jones) මහතාය. එච්.ජේ.බිලිමෝරියා (H.J.Billimoria) මහතා ඔහුගේ දෙවැනියා විය. විනී ජෝන්ස් මහතා විශ්‍රාම ගැනීමෙන් පසු බිලිමෝරියා මහතා ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පී තනතුරට පත් විය.

මෙම නව ගොඩනැගිල්ල සැලසුම් කිරීමේදී යට කී ඉංජිනේරු ත්‍රිමූර්තිය, ඉංජිනේරු සහ වැඩසටහන් අංශවල සේවක පිරිස් ගැන මෙන්ම ශිල්පීන් හා අමුත්තන් ගැනද විශේෂ සැලකිල්ලක් දක්වා ඇත. මුලින් මෙම ගොඩනැගිල්ල තුළ පිහිටුවා තිබුණු ශිල්පීන්ගේ හා අමුත්තන්ගේ විවේකාගාර දෙක ඊට සාක්ෂි දරයි. එකල ඒ දෙකෙහිම ගුවන්විදුලියෙන් ප්‍රචාරය වන වැඩසටහන් අසා සිටීමට ස්පීකර දෙකක්ද සවිකොට තිබුණි. මා මුලින්ම ගීතයක් ලිව්වේ එකල සුප්‍රකට ගුවන්විදුලි ගායකයෙකු , ගුවන්විදුලි වාදක මණ්ඩලයේ ශූර මැන්ඩලින් වාදකයෙකු මෙන්ම මගේ ගමේ කුලුපග මිතුරෙක්ද වූ ලෙස්ලි අශෝකාගේ සරල ගී වැඩසටහනකටය. එම වැඩසටහන සජීව ලෙස ප්‍රචාරය වුණු රාත්‍රියේ ලෙස්ලිගේ කුලුඳුල් දියණිය , යමුනා විනෝදිනී බිලිඳිය , උකුළේ හොවා ගත් ඔහුගේ පතිනිය ශ්‍රීමා සමග ගුවන්විදුලි විවේකාගාරයේ ස්පීකරයෙන් එය අසා සිටි සැටි මෙවේලේ මගේ සිහියට නැගෙන්නේ ඉබේය .

එකල කාන්තා විවේකාගාරය (Ladies Rest Room) පිහිටියේ ගුවන් විදුලි පිළිගැනීම් කවුන්ටරය ඇති ශාලාවට පසුව ඇති මැද ශාලාවේ දකුණු පස කෙළවරේය. දැන් එය සභා ශාලාව (Board Room) බවට පත්කරගෙන ඇත.එදා එම මැද ශාලාවේ වම් පස කෙළවරේ පිහිටියේ පුරුෂ විවේකාගාරයයි. අද එහි සභාපතිවරු හා අධ්‍යක්ෂක ජෙනරාල් වරු විරාජමාන වෙති.

ප්‍රධාන ප්‍රවේශ ද්වාරය සහිත පැරණි ගුවන්විදුලි ගොඩනැගිල්ලේ ඉදිරිපස දිස්වුණු අභිමානවත් ස්වරූපය වැසී යන පරිදි මෑත කාලයේ ඒ ඉදිරිපිට ආගන්තුක ගොඩනැගිල්ලක් ඇටැවුණි. ඉන්පසු එය ප්‍රධාන ප්‍රවේශස්ථානය බවට පත්කොට පිළිගැනීමේ කවුන්ටරයද එතැනටම ගති.අනතුරුව ඒ ඉදිරිපිටට බුදු පිළිමයක්ද වඩම්මා උන්වහන්සේ වීදුරු සිර මැදිරියක රිමාන්ඩ් කළේ උත්සවාකාරයෙනි. කලකට පසු ආගන්තුක ගොඩනැගිල්ල කන්තෝරු කාමර පෙළක් බවට පත් කොට යළිත් පැරණි අභිමානවත් ද්වාරයෙන්ම ගුවන්විදුලි මධ්‍යස්ථානයට පිවිසීම ආරම්භ කෙරුණි. අනන්‍ය ගෘහ නිර්මාණ කලාවක් අනුව තැනුණු පැරණි මන්දිරයේ අලංකාර රූ සපුව කෙලෙසන කැළලක් මෙන් අර කන්තෝරු ගොඩනැගිල්ල තවමත් ඒ අබියස ඇසේ රුදා නංවමින් දිසේ.

පැරණි ගුවන්විදුලි මන්දිරයේ ප්‍රධාන ද්වාරයෙන් පිවිසුණේ පුළුල් ආලින්දයකටය.එහි වම් පස කොනක දිස්වුණු , ඔප දැමූ තේක්ක ලෑල්ලෙන් නිමවූ , අර්ධ වෘත්තාකාර උස් පිළිගැනීම් කවුන්ටරයද උදාරත්වයක් උද්වහනය කරන්නකි. එදා එහි වැජඹුණු එකම පිළිගැනීම් නිලධාරිනියද සිය රුසිරු රූසිරියෙන් අතිථි ජන චිත්තය මථනය කරන කාන්තා රත්නයකි.

පැරණි ගුවන්විදුලි මන්දිරය ඉදිරිපස වූ දිගු පුළුල් අංගණය එකල මනකල් මල් පඳුරුවලින් අලංකෘතය. බස් පාරත් එම අංගනයත් වෙන් වන සේ දිගට බැඳ තිබුණේ මිටි තාප්පයකි. එය වූකලී එම මන්දිරයට ආවේණික ගෘහ නිර්මාණ ශිල්ප ශෛලියටම අනුකූල වූ ස්වරූපයෙන්ම තැනුණකි. ගුවන් විදුලි අංගණයට පිවිසෙන අමුත්තා ඇතුළු විය යුත්තේ තාප්පය දකුණු පස වූ ගේට්ටුවෙනි.වම් පස වූ ගේට්ටුවෙන් පිටවුවමනාය.

එකල ගුවන්විදුලි මධ්‍යස්ථානය ඉදිරිපිට පාර දෙපැත්තේ පිහිටි සොඳුරු තැන් දෙකක් ගුවන්විදුලිය හා සමීප සම්බන්ධකම් පැවැත්වූ අපේ කාලයේ උදවියට කිසි සේත් අමතක විය නොහැක. ඒ ලෑලි කඩ දෙකකි. එකක් තනා තිබුණේ ගුවන්විදුලි මධ්‍යස්ථානයට ඇතුළු වන දොරටුවට නුදුරින් තාප්පය අයිනට වෙන්නටය. අනික පාර අනිත් පැත්තේ කාන්තා හොකී ක්‍රීඩා සමාජ ශාලාවට නුදුරින් වූ ජෑම් ගස අසලය.

එදා ගුවන්විදුලි ආයතනයේ සේවය කළ බොහෝ නිෂ්පාදකයන්ගේ නිවේදකයන්ගේ සංගීත ශිල්පීන්ගේ මෙන්ම බාහිර ශිල්පීන්ගේ හා අමුත්තන්ගේද ප්‍රණීත බොජුන්හල් දෙක සේම අවන්හල් දෙක වූයේද ඒ ලෑලි කඩ දෙකය.ඉක්ෂුපාක මදිරා හෝ නාරිකේල මදිරා ඩ්‍රෑමයකින් දෙකකින් ඔද වැඩෙනු වස් දවසේ කිකල්හි හෝ ඒ අවන්හල් දෙකෙන් කවරකට හෝ වැදෙන උන්ගෙන් එකල ඒවා නොහිස් විය.

එකල මදිරා ඩ්‍රෑමය එකයි පනහකි. කෑම බාගය ශත හැත්තෑ පහකි. ප්ලේන්ටි එක සත හයකි. තේ එක සත දහයකි.ගුවන්විදුලියේ අපේ නාට්‍ය ශිල්පී ගාස්තුව රුපියල් පහළොවකි. ගුවන්විදුලි නාට්‍ය රචක ගාස්තුව රුපියල් 60කි.

එකල ගැටවරයන් තරුණයන් පමණක් නොව මැදිවියේ වුවන්ද ගුවන්විදුලි මධ්‍යස්ථානය ඉදිරිපිට ඇති කාන්තා හොකී ක්‍රීඩා සමාජ ශාලා භූමියේ කටුකම්බි වැට අද්දරට වී අන්දර ගස් අස්සෙන් එකී හොකී ක්‍රීඩා පුහුණුවෙහි යෙදෙන දිස්න දෙන වටොරැති , හිත් කලඹන නිතඹ බිඹු ඇති ලස්සන ගැටිස්සියන් ඉස්සි ඉස්සී පාන දස්කම් විස්කම් විස්මයෙන් නරඹමින් ඇස් ලැබූ පිනින් තොස්වන විලස් එදවස් හවස් සමයේ වෙසෙස් දසුනකි.

හිකි හිකි හඬින් සිනා නගමින් හොකී ක්‍රීඩා පුහුණුවේ යෙදුණු එකී ගැටිස්සියන්ගේ දස්කම් බලා සිටින කවරෙකුගේ වුව ඇසට ඒ නාඹර බඹරියන්ගේ පුන් පියයුරු සැලුමත් පුළුලුකුළු රැඟුමත් වට සුමට දෙවටොරෙහි කිරි ගරුඬ කැල්මත් එක් වරම හසු වුණේ ඉබේය.

කිසියම් ගුවන් විදුලි වැඩසටහනක් අවසන් වීමෙන් පසු හැන්දෑ සමයේ ගුවන්විදුලියෙන් පිටවුණු දවසක ඒ විසේ ඇති වියේ ගැටිස්සියන්ගේ මනකල් හොකී ක්‍රීඩා පුහුණුව මඳ කලක් හෝ නොනරඹා යෑමට අපේ දෙපාද ඉඩ නොදුන්නේ මන්දැයි කවුරු දනිත්ද?

මාත්, සුනන්ද මහේන්ද්‍ර , අශෝක කොළඹගේ , දයාරත්න රණතුංග , අජන්තා රණසිංහ , බණ්ඩාර විජේතුංග , ස්වර්ණ ශ්‍රී බණ්ඩාර (පසු කලක මගේ කුලුපගයෙකු බවට පත්) තිලක සුධර්මන් අයියා යන මගේ බඩ බැඳගත් ගුවන්විදුලි සද්ධි විහාරිකයනුත් එසේ ඇස් ලැබූ පින් පල නොමඳව වින්ද උන් නොවූහයි කටකින් කිය හැකිද?.

ගුවන්විදුලි මධ්‍යස්ථානය අබියස වූ එම කාන්තා හොකී ක්‍රීඩා සමාජ ශාලාව මතකයට නැගෙන විට දැනුදු මගේ ඇඟ කිලිපොලා යන අතීත බිහිසුණු අත්දැකීමක් මා ඉදිරියේ වහා මැවී යන්නේ ඉබේය. එදා ඒ අති භයංකර සිද්ධිය ඒ අයුරින්ම සිද්ධ වී නම් ජේ.එච්.ජයවර්ධන , සමන් බොකලවෙල , ලෙස්ලි බොතේජු සහ මම අද ජීවතුන් අතර නැත. මතු ලියැවෙන හිතක මතක වතකින් එහි තතු ඔබ නෙත සතු වනු ඇත.



අදහස් (0)

මගේ ගුවන්විදුලි මතකය (2)

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 155 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 359 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site