IMG-LOGO

මගේ ගුවන්විදුලි මතකය (1)

මතක හා මතය

ඒ 1950 අවුරුද්දේ මැද භාගය විය යුතුය. මම එකල නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේ පෙර දෙටු පෙළ පන්තියේ ඉගෙන ගනිමින් සිටියෙමි. මා හෝඩිය පන්තියේ සිට පස් වැන්න දක්වා සිප් සතර හැදෑරූ කළුබෝවිල බුද්ධඝෝෂ විද්‍යාලයේ සිසුවෙකු කාලයේ පටන්ම ගුවන්විදුලිය මට අතිශය හෘදයංගම විය. ඊට හේතු වූ අගනා වැඩසටහන් දෙකක් එකල සතිපතා ගුවනින් ප්‍රචාරය වුණි.

ඉන් එකක් සිරි අයියාගේ ළමා උයනයි. අනික ගුවන්විදුලි නාට්‍යයයි. කුඩා වියේ සිටි මට මේවා අසන්නට ගෙදර ගුවන්විදුලි යන්ත්‍රයක් නොතිබුණි. එකල ගුවන්විදුලි යන්ත්‍රය වනාහි අද මෙන් ගෙයක් නෑර තිබුණු සුලබ මෙවලමක් නොවීය. මා ඉහත කී ගුවන්විදුලි වැඩසටහන් ආසාවෙන් ඇසුවේ මගේ මවගේ බාල සොහොයුරා වන පුංචි මාමා විසින් තනන ලද අති සරල පරිපථයක් සහිත ප්‍රාථමික මෙවලමකිනි. කුඩා හතරැස් ලෑල්ලක් මස සවි කරන ලද එම පරිපථයට කොයිලයක් සහ මිනිරන් පැහැති කඩතොලු කුඩා ගල්කැටයක් අයත් විය. ඒරියලයක් සහ අර්ත් වයරයක්ද සහිතය. එම මෙවලම හැඳින්වුණේ 'ඉයර් ෆෝන්' සෙට් හෝ 'ක්‍රිට්ස්ල් සෙට්' යන නමිනි.

ඊට ඉයර් ෆෝන් යැයි කීවේ ඉයර් ෆෝනයකින් ඇසූ නිසාය. ක්‍රිට්ස්ල් යනු මිනිරන් පාට කඩ තොලු කුඩා ගල් කැට විශේෂයකි. එවැන්නක් මෙහි සවි කොට තිබූ නිසා එය ක්‍රිට්ස්ල් සෙට් නම් වුණි. එදා පැවති එකම විද්‍යුත් ප්‍රචාරක මාධ්‍යය වූ 'කොළඹින් කතා කරමි' නම් ගුවන්විදුලි සේවයේ මීටරය අල්ලා ගැනීමට සිදුවූයේ එම ඉයර් ෆෝන් මෙවලමේ සවිකොට තිබුණු කුඩා ගල් කැටයේ කඩතොලු තුළට තඹ කම්බි තුඩක් ගෑවීමෙනි. එය විය සිදුරෙන් අහස දක්නට පතන කණ කැස්බෑ තැතට අසමාන නොවේ. බොහෝ වේලා තඹ කම්බි තුඩ කඩතොලුවල ගෑවීමෙන් ගුවන්විදුලි මීටරය දුකසේ අල්ලා ගත් පසු එය දිගු වේලාවක් වෙනස් නොවී නිසි තැන රැඳී සිටීම වාසනාව උඩම රඳා පවතින්නකි. එය එතරම්ම දුෂ්කර ක්‍රියාවකි. මීටරය හසු වන තැන අමාරුවෙන් සිටුවා ගත් තඹ කම්බි තුඩ වහා ඉවතට පනින හෙයිනි..

අද මෙරට ජනයාගේ රුචිය අරුචිය කරමින් , දැනුම නොදැනුම කරමින් , ගුණදම් අගුණදම් කරමින් , විනය අවිනය කරමින් පවත්වාගෙන යන එෆ්.එම් ගුවන්විදුලි සේවා ගැන සිතන විට මා කුඩා වියේ සිටියදී පුංචි මාමා තැනූ ක්‍රිට්ස්ල් සෙට් ගුවන්විදුලි මෙවලමෙන් දුකසේ ඇසූ ගුවන් විදුලිය කෙරෙහි මගේ හද බැතිබර වන්නේ ඉබේය. ඉන් එදා පැතිරුණු ගුණ සුවඳ හා නැණ එළිය සිහිවීමෙනි. මගේ සිත තුළ පළමු වරට ගුවන්විදුලි මාධ්‍යය කෙරෙහි හෘදයංගම හැඟීමක් ජනිත කිරීමෙහිලා උපකාරී වුණු ඒ අචේතන ප්‍රාථමික ක්‍රිට්ස්ල් මෙවලමට පින් සිදු වේවා!

කළුබෝවිල බුද්ධඝෝෂ විද්‍යාලයේ සිසුවෙකු ලෙස සිටි සමයේ ගුවන් විදුලිය නිසා උපන් පිළිබඳ සිත මා නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයට ගිය පසු මෝරා වැඩී ගියේ පුර පස සඳ මෙනි. කොළඹ යුගයේ කීර්තිමත් කිවි⁣ඳෙක් වූ නීතිඥ යූ.ඒ.එස් පෙරේරා මහතා එකල ගුවන්විදුලියේ ළමා උයන ඉදිරිපත් කළේ 'සිරි අයියා' යන ආදරණීය නමිනි. එම වැඩසටහන ඉදිරිපත් කිරීමේදී ඔහුට සහාය වූ ශිල්පිනිය හැඳින්වුණේ 'සොමි අක්කා' ලෙසය. මා ශාන්ත ජෝන් විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලය වන විට සිරි අයියා ගුවන්විදුලියෙන් ඉවත්ව ගොසිනි. ඔහු විසින් ඉදිරිපත් කරන ලද: 'ළමා උයන' 'ළමා පිටිය' බවට පත්ව තිබුණි.

කොළඹ නාලන්ද විද්‍යාලයේ ගුරුවරයෙක් වූ යූ.ඒ.එස්.පෙරේරා මහතාගේ ශිෂ්‍යයෙක් වූද ඔහුගේම ළමා උයනෙන් බිහිවූ ප්‍රතිභා සම්පන්න ගෝලයෙක් වූද කරුණාරත්න අබේසේකරයෝ එකල ගුවන්විදුලි සේවයට බැඳී සිටියහ. මුලදී ළමා උයන ඉදිරිපත් කළ තනි සිරි අයියා වෙනුවට ඒ වන විට අයියලා කීප දෙනෙකුටම ළමා පිටිය ඉදිරිපත් කිරීම පැවරී තිබුණි. ආනන්ද සරත් විමලවීර , කරුණාරත්න අබේසේකර , එච්. එම්. ගුණසේකර , මඩවල එස්.රත්නායක , තිලක සුධර්මන් ද සිල්වා යන කීර්තිමත් පංච මහා මාධ්‍යවේදීහු ඒ අලුත් අයියලා වූහ. අද පවත්නා එෆ්.එම් මාධ්‍ය ජාලාවල සිට මුළු රට පුරාම දුගඳ වහනය කරන බොහෝ මාධ්‍ය අශික්ෂිතයන් ගැන සිතන කල යට කී ප්‍රශස්ත මාධ්‍ය ශික්ෂිතයන්ගේ මහාර්ඝත්වය හා මහාත්වය ශත සහස්‍ර ගුණයෙන් අධිකව දැනීම කවර අරුමයක්ද? ඒ මාධ්‍ය ශික්ෂිතයන් හා මේ මාධ්‍ය අශික්ෂිතයන් අතර වෙනස දක්වා ලීමට අමෘත හා අසූචි උපමාව හැර වෙනත් උපමාවක් තවත් වෙද?

මෙලක මෙකල වෙසෙන මහජනයා ගසා කෑමට සකල විධ නීච , අධම , තුච්ඡ , ගර්හිත , නින්දිත ප්‍රයත්නයක්ම අලජ්ජී ලෙස දරන ලේ මාපිලුන් වැනි වෙළඳ ජාවාරම්කාරයන්ට සෑම උපකාරයක්ම අනුබලයක්ම ආධාරයක්ම සපයන

ලේ මාපිලුන්ගේ්ත් ලේ මාපිලුන් වැනි දුෂ්ට , භ්‍රෂ්ට , ක්ලිෂ්ට , අශිෂ්ට , පාපිෂ්ඨ ජාවාරම්කාර මාධ්‍ය හිමියන් සතු විෂම මාධ්‍ය ජාලාවලින් පැතිය හැකි කවර ගුණ ධර්මයක්ද ? කවර ආචාර ධර්මයක්ද ? කවර ඥානාලෝකයක්ද ?

මා නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ ඉගෙනුම ලබද්දී ගුවන්විදුලි ළමා පිටියට ලිපි ලියූ ළෙන්ගතු මිතුරෙක් මගේ පන්තියේ සිටියේය. ඔහු වෝල්ටර් කල්දේරාය. ඔහුද මගේ ගම වන කළුබෝවිලම එකෙකි. දිනක් උදේ මා පන්තියට ගිය විට ඔහු මා ළඟට පැමිණ අම මිහිරි ආරංචියක් මගේ කනෙහි තැබුවේය.


"කරූ , මම ගුවන්විදුලි බදාදා ළමා පිටියට ලිපියක් ලියලා යැව්වා. මට ලියුමක් එවලා තියෙනවා ලබන බදාදා ගුවන්විදුලියට ඇවිල්ලා ඒක ළමා පිටියෙන් මටම ඉදිරිපත් කරන්න කියලා. යමුද අපි දෙන්නම ?


පස්වනක් ප්‍රීතිය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න අර්ථ වශයෙන් මා තේරුම් ගත්තේ පසු කලක වුවද මා එය පළමු වරට ප්‍රත්‍යක්ෂ වශයෙන් අධ්‍යාත්මයෙන් විඳගත්තේ වෝල්ටර්ගේ ආරාධනය කන වැකුණු මොහොතේ යැයි සිතමි. කළුබෝවිල මගේ මහගෙදර පිහිටි තැන සිට ගුවන්විදුලි මධ්‍යස්ථානය පිහිටි තැනට ඇත්තේ සැතපුම් හතකට කිට්ටු තරමේ දුරක් වුවද මා ඒ වන විට ගුවන්විදුලියට පා තබා තිබුණේ නැත. එවන් කලක මගේ සිත පස්වනක් ප්‍රීතියෙන් පිනා නොයේද?

දිනය එළඹියේය. මා වෝල්ටර් කල්දේරා සමග ගුවන්විදුලි මධ්‍යස්ථානයට ගියේ නමෝ විත්තියෙන් පූජ්‍යස්ථානයක් දැක බලා ගන්නට යන්නාක් වැනි හැඟීමක් ඇතිව බැව් මට අද මෙන් මතකය. බදාදා ගුවන්විදුලි ළමා පිටිය මෙහෙයවීම කලින් බාරව සිටියේ කෘතහස්ත ගීත රචකයෙකු , ගුවන්විදුලි නාට්‍ය , විචිත්‍රාංග ආදි විවිධ වැඩසටහන් නිෂ්පාදනයෙහිලා අති ශූරයෙකු මෙන්ම ප්‍රශස්ත ගුවන්විදුලි නිවේදකයෙක්ද වූ සරත් අයියාය. එනම් ආනන්ද සරත් විමලවීරයන්ය. මා සහ වෝල්ටර් ගුවන්විදුලියට ගිය දා බදාදා ළමා පිටිය මෙහෙයවීම භාරව සිටියේ අති ශූර නිවේදකයෙකු , ප්‍රශස්ත ගීත රචකයෙකු , නවකතාකරුවෙකු මෙන්ම නිර්මාණාත්මක ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදකයෙක්ද වූ සුධර්මන් අයියා හෙවත් තිලක සුධර්මන් ද සිල්වා නමැති අති විශිෂ්ට මාධ්‍ය විශාරදයාණන්ය. පසු කලක ඔහු ගුවන්විදුලි සිංහල අංශයේ අධ්‍යක්ෂ තනතුරද ඉසිලීය.ඒ වන විට සරත් අයියාට අඟහරුවාදා සවස ඉදිරිපත් කරන ළමා නාට්‍ය නිෂ්පාදනය පවරා තිබුණි.

කොට කලිසම් ඇඳි මාත් වෝල්ටර් කල්දේරාත් ගුවන්විදුලියේ දහ වන මැදිරියට ඇතුළු වන විට ශුද්ධ

භූමියකට පිවිසෙන්නාක් වැනි බැතිබර හැඟීමකින් සිත වෙළී යනු මට දැනුණි. දහ වන මැදිරිය එදා එතරම්ම පවිත්‍රය. ප්‍රසන්නය. පියකරුය. සිහින් සුවඳකුත් විහිදෙනු දැනෙන්නා සේය. මැදිරියේ බිත්ති සතරම අලංකාර මල් මෝස්තර සහිත විල්ලුද කර්ටන්වලින් වැසී තිබුණි. පොළොව මත එලා තිබුණේ මනරම් කලාත්මක ගනකම් කලාලයකි.

මෙකල මෙන් නොව එකල පටිගත කිරීම් නොසිදුවිය. වැඩසටහන් ඉදිරිපත් කළේ සජීව ලෙසිනි. ළමා පිටිය ගුවනින් ප්‍රචාරය කිරීමට පැය දෙකකට පමණ පෙර සුධර්මන් අයියා එදින ඉදිරිපත් කරන ලිපි , ගී , කතා , කවි හා වෙනත් දේ ගැන සහභාගී වන ළමයින්ට කරුණු විස්තර කර දී ඒ ඒ අංග පුහුණුවීමට සලස්වයි.

මගේ මිත්‍ර වෝල්ටර් කල්දේරා බදාදා ළමා පිටියට ලියා යවා තිබුණේ සර් අයිසෙක් නිව්ටන් ගැන ලිපියකි. එය හඬ නගා කියවන ලෙස නොව යමෙකුට පැහැදිලිව කියා දෙන ලෙස ඒ ඒ තැනට සුදුසු ආකාරයට හඬ උස් පහත් කරමින් ඉදිරිපත් කරන්නැයි සුධර්මන් අයියා වෝල්ටර්ට උපදෙස් දුන්නේය. ඔහු එය එසේ කියවාගෙන යද්දී එහි අතරමැද අයිසෙක් නිව්ටන්ගේ කටින් කියවෙන කියමනක්ද ඇති බැව් දුටු සුධර්මන් අයියා ඒ අසල වූ මා ඇමතීය.


"මල්ලි , මේ අයිසෙක් නිව්ටන්ගෙ දෙබස කියවන්න බලන්න."


මා එවේලේ එය කියවූයේ අනාගතයේ දිනක මා ගුවන්විදුලි ශිල්පියෙකු වෙතියි තුන් හිතකින්වත් නොසිතමිනි. ඒ දෙබස මා නාට්‍යාකාරයෙන් ඉදිරිපත් කළ විලාසයෙන් සුධර්මන් අයියා අතිශයින් තෘප්ත වූ බව මට වැටහී ගියේ ඔහුගේ කටින් වහා පිටවුණු මේ වදන් ඇසීමෙනි.


"හරි ෂෝක්නෙ මල්ලි. මීට ඉස්සෙල්ලා රඟ පාලා තියෙනවද?"


මම නැහැයි කීවෙමි.


"මල්ලිට හොඳ අනාගතයක් තියෙනවා."


මගේ ගුවන්විදුලි මාධ්‍ය

පදවීතිහාරයේ මුල්ම නියත විවරණය ලත් මංගල මොහොතයැ ඒ. එසේම

මගේ කටහඬ , මගේ පළමු හුස්ම පොද දුන් මගේ මව් බිමේ වා තලයට පළමු වරට පිවිස සහෘද ජන සවනට ඇසී ඔවුන්ගේ හද වැලඳගත් මංගල මොහොතද එය මැ වේ මැයි. ඒ හෘදයංගම මොහොත සිහිවත්ම අද ජීවතුන් අතර නොමැති සුධර්මන් අයියා වහා සිහියට නැගෙයි. එවිට මගේ සිත ශෝකයෙන් බර වන්නේ ඉබේය.



අදහස් (0)

මගේ ගුවන්විදුලි මතකය (1)

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 403 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 971 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1352 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site